සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත් ජාවරමේ නිරතව සිටි කතක් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුට මරණ තර්ජන කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අහුංගල්ල පොලිසිය මගිනි. විශේෂ කාර්ය බලකාය වෙතින් ලද තොරතුරක් මත හෙරොයින් මිලිග්‍රෑම් 4200ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු විසිනි.
අත්අඩංගුවට ගැනීම සිදු කළ දින සවස්වරුවේ පොලිස් නිලධාරියාගේ ජංගම දුරකතනයට ලැබුණු වට්ස්ඇප් ඇමතුමකින් පවසා ඇත්තේ අදාළ කත ඇප ලබා ගත හැකි ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එසේ නොකරන්නේ නම් මාර්ගයේ ගමන් කරද්දී වෙඩි තබා ඝාතනය කරන බවට ද පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර තිබේ. එසේ නැතහොත් රිය අනතුරකට ලක් කර මරණයට පත් කරන බවද පවසා ඇති අතර පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.