/ Mar 12, 2025

මළ අශ්වයා අත්හරිමු!

විසඳීමට කිසිසේත් ම නොහැකි බව පැහැදිලි ව පෙනෙන ගැටලුවල යථාර්ථය පිළිනොගනිමින්, ඒවා මත්තේ එල්ලී විසඳුම් සොයමින් සිටින බව හඟවන කදිම උපහසාත්මක න්‍යායක් තිබේ. එය “මැරුණු අශ්වයාගේ න්‍යාය“ ලෙසින් හැඳින්වේ.

ඔබ පදවන්නට උත්සහ දරන්නේ මිය ගිය අශ්වයෙකු නම්, ඔබ වහා ම කළයුතු දෙය වන්නේ එයින් බිමට බැස ඔබේ ගමනට වෙනත් ක්‍රමයක් හොයා ගැනීමයි. එනමුදු භාවිතයේ දී එසේ කරනු වෙනුවට එයට හාත්පසින් ම වෙනස් තීරණවලට යොමුවන අවස්ථා වැඩි වශයෙන් දක්නට ලැබේ.

මිය ගිය අශ්වයා අත්හරිනු වෙනුවට,

  • නව සැදෑලයක් මිල දී ගැනීම
  • ආහාර වැඩි වශයෙන් සපයා ගමන් කරවීමට උත්සහ දැරීම
  • වෙනත් අසරුවෙකු යොදා ගැනීම
  • අශ්ව කළමනාකරු ඉවත් කර අලුත් අයෙකු පත් කිරීම
  • අශ්වයාගේ වේගය වැඩි කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් සූදානම් කිරීම
  • අශ්වයාගේ ගැටලුව විශ්ලේෂණය කිරීමට කමිටු, කොමිසම් පත් කිරීම. එම කමිටු සහ කොමිසම් මාස කිහිපයක් සිය කාර්යයෙහි නියුතු වීමෙන් අනතුරු ව සිය වාර්තාව ඉදිරිපත් කිරීම.

“අශ්වයා මිය ගොසිනි!“

අනතුරු ව එළඹෙන්නේ,

වෙනත් මියගිය අශ්වයින් හා මේ මියගිය අශ්වයා සංසන්දනය කරමින් උද්ගත ව ඇති තත්ත්වය සාධාරණීකරණය කිරීමේ අවස්ථාවයි.

අශ්වයාට නිසි පුහුණුවක් නැතිකමින් ඒ සතා මිය ගිය බවත් වඩා සුදුසු පුහුණු පාඨමාලා සඳහා මේ අශ්වයා යොමු කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලද හැකි බව තීරණය කොට අයවැය වැඩි කිරීමේ අවස්ථාවයි.

“මියයෑම“ යන්නට නව අර්ථකතන දෙමින් අශ්වයාට තවමත් අවස්ථාව ඇති බව ඒත්තු ගැන්වීමේ අවස්ථාවයි.

උගත් පාඩම:

යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවේ දී ම එය නිවැරදි ව හඳුනාගෙන වඩා සුදුසු, ඵලදායි තීරණ ගැනීමට වඩා, යථාර්ථයෙන් පැන දුවමින්, නිෂ්ඵල විසඳුම් වෙනුවෙන් කාලය, ධනය සහ ශ්‍රමය නිස්කාරණයේ වැය කිරීමට තනි පුද්ගලයින් හා සංවිධාන බහුල ව යොමු වී ඇති වග වර්තමාන ලෝකය දෙස විමසිල්ලෙන් බලන කළ පැහැදිලි වේ. සිය කාර්යය සාධනීය ලෙස සම්පූර්ණ කර ගැනීමට නම්, “මියගොස් ඇති බව“ හඳුනාගත් වහා මළ අශ්වයාගෙන් බිමට බැස යථාර්ථයට මුහුණ දීමට මනස සකසා ගැනීම, ගතයුතු පළමු පියවර වග හඳුනා ගැනීම අතිශය වැදගත් වේ.

රන්දිකා රණවීර ප්‍රනාන්දු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top