/ Feb 05, 2026

කැමති වුණත් නැතත් අපි ඉන්නේ ට්‍රම්ප්ගේ ලෝකයේ.අපිත් ඒ යුගයට යන්න ඕනේ – එජාපය ඩිජිටල් කරමින් රනිල් කියයි

”අද අපි ඉන්නේ ජේ.ආර්. යුගයේ නෙමෙයි. අපි ඉන්නේ ට්‍රම්ගේ ලෝකයේ, කැමැති වුණත් නැති වුණත්. ට්‍රම්ප් එක්ක තරග කරන චීනය ඉන්න ලෝකයේ. අසල්වැසි ඉන්දියාව ඉන්න ලෝකයේ. මේ යථාර්ථය පිළිගන්න ඕන. අපි ඒ යුගයට යන්න ඕන. ඒකට සුදුසු සමාජයක් අපි ඇති කරන්න ඕන. එදා අපි ඇති කළේ ගොවිතැන දියුණු කරලා. ඊට පස්සේ ඇති කළේ කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය දියුණු කරලා. අද යන්නේ එතනට නෙමෙයි” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) සිරිකොතේදී පැවති “Smart UNP-2026” ආරම්භ කිරීමේ වැඩසටහන අමතමිනි.

ස්මාර්ට් දේශපාලනය (Smart Politics) වැළඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවයි එහිදී ඔහු කියාසිටියේ.

මේ අතර අනාගතය උදෙසා නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අනාගත දේශපාලනය සඳහා ‘වර්චුවල් රියැලිටි’ (Virtual Reality) වැනි නවීන තාක්ෂණයන් වැලඳගත යුතු බවත්, ඒ සඳහා පක්ෂය තුළ ‘ඩිජිටල් පරිපාලක’ (Digital Administrator) සහ ‘ඩිජිටල් සංවිධායක’ (Digital Organizers) වැනි නව තනතුරු ඇති කරන බවද එජාප නායකයා අනාවරණය කළේය.

”අපේ නායක ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78 වැනි සංවත්සරය සමරන අවස්ථාවයි මේ. මොකද එතුමාගෙන් ගත්ත ප්‍රයෝජනය එදා සිට අද දක්වා වසර 78 ක් මේ රට හදන්න ගිය නායකයින් සියළු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කලේ මධ්‍ය මහා විද්‍යාල 50 යි. අද තියෙනවා 1,400 කට වඩා.එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්වවිද්‍යාල 19 යි, රජයේ නොවන විශ්වවිද්‍යාල 27 යි. අද රෝහල් 550 කට වඩා තිබෙනවා. අපි සහල්වලින් ස්වයංපෝෂිතයි. අපි අලුත් යුගයක ඉන්නේ. අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කලයුතුයි. එ්කෙන් තමයි මේ රට දියුණු වුනේ. ඒ සඳහා හැම බලවේගයකටම එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මම භාරගත්තා. රටේ ස්ථාවරභාවය ඇතිකලා. දැන් තියෙන්නේ ජෙන්සියටර් තිබෙන සමාජයයි. ඩිජිටල් සමාජයක්. අපි දුන්න ජංගම දුරකථනයෙන්, පරිඝණකයෙන් මේ හැම එකෙන්ම ඩිජිටල් යුගයකට ගිහින් තිබෙනවා. ජෙනිසියර් කියන්නේ ඩිජිටල් යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව සමඟ තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඒකටයි ලෑස්ති වෙන්නේ. අද අපි ඉන්නේ ජේ. ආර් ගේ කාලයේ නොවෙයි. අපි ඉන්නේ ට්‍රම්ප් ගේ ලෝකයේ කැමැති උනත්, නැති උනත්, අපි ඒ යුගයට යායුතුයි. ඒකට සුදුසු සමාජයක් ඇතිකල යුතුයි. අද අපි යන්නේ මවන ලද ලෝකයට. මවන ලද තාක්ෂණයටයි. ඒ දැනුම ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට ඉදිරියට ගන්න බෑ. ඒකටයි අපි ඩිජිටල් පක්ෂයක් ආරම්භ කලේ. පොලිටික්ස්වල නිව් වයිබ් එකට සෙට් වෙමු. ස්මාර්ට් යූ.එන්.පී. එකට එකතු වෙමු.“ යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top