I’m the luckiest mother in the world. I found my son’s body.
ඇය මේ ලොව වාසනාවන්තම මවයි. තමන්ගේ දෝතින් තමන් වැදූ පුතුව නාන්නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පැය කිහිපයකින්ම එම පුතුගේ මළ සිරුර මුහුදට ගසාගෙන ඇවිත් තිබියදි හදුනාගන්නට හැකි වූ ඇය මේ ලෝකයේ වාසනාවන්තම මවයි. I’m the luckiest mother in the world. I found my son’s body. අශෝක හගමගේ රාණි චිත්‍රපටය ආරම්භයේම මනෝරාණි සරවනමුත්තු එලෙසින් පවසයි.
මේ සටහන ලියන මා කලකට පෙර හඳගමගේ ඇල්බොරාදා චිත්‍රපටය මාද ඇතුලුව චිත්‍රපට ශාලාවටම හයදෙනෙක් සමඟින් පමණක් හිඳ නරඹා. ඊට වසර කිහිපයකට පසු අද දින රාණි චිත්‍රපටය කටුබැද්ද රීගල් සිනමා ශාලාවේ සවස 7.30 දර්ශනය Full House දර්ශනයක් ලෙසින් නැරඹූ වටපිටවක සිට චිත්‍රපටයක් ලෙස රාණි මෙරට සිනමා කර්මාන්තයට ගෙන දුන් මේ අපූර්වතම වෙනස පිළිබඳව ඉමහත් සතුටට පත්ව සිටිමි.
එනමුදු මේ සටහන රාණි චිත්‍රපටය ගැනම නම් නොවේ. මක්නිසාද යත් දැන් අප නරඹන්නේ අශෝක හඳගමගේ සිත්හි රූපරාමු ලෙසින් පෙළ ගැසුනු චිත්‍රපටයයි. එහි රිචඩ්ට ඒකපාර්ශවීය ලෙසින් ආදරය කරන යුවතියගේ මරා දැමුණු සැමියාගේ දර්ශනයත්, චිත්‍රපටය අවසන් වන Director’s point of View දර්ශනයත් අපට ඇයි? කියා සිතුනත් එය හඳගමගේ Vision එකයි. එය ඔහුගේ අධ්‍යක්ෂණයයි. එබැවින් රාණි චිත්‍රපටය ගැන කියන්න තිබෙන්නේ එක දෙයයි. රාණි ගැන මෙවගේ හෑලි ලියමු. හැබැයි ෆිල්ම් හෝල් එකට ගිහින් රාණි බලමු. බලලාම ඇවිත් ලියමු. එහෙම නැතිව අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියා. ෆිල්ම් හෝල් එක අහලකටවත් නොගිහින් රාණි ගැන හෑලි නොලියමු.
මේ කුඩා දූපත් රාජ්‍ය පසුගිය දශක කිහිපය තුළ තමන්ගේ තරමටත් වඩා වැඩියෙන් ලේ සෙළවු අහස පොලව නුහුළන අපරාධ වැලළුනු බිමක්. ඒ බිමේ එක් එක් යුගයන් අඳුරු යුග භීෂණ යුග ආදි වශයෙන් නම් කෙරුනද සමස්තයක් වශයෙන් ගත් කළ මේ බිම බලය උදෙසා තම ළගම සගයා වුවද මරා දැමු ඉතිහාසයකින් වැසුණු, ම්ලේච්ඡත්වය ප්‍රහර්ෂයට ලක්කළ බිමක්.
එවැනි බිමක තම අයීතීන් වෙනුවෙන් සටන් කළ, ඉල්ලීම් උදෙසා අරගල කළ, වෙනස් දේශපාලන මතයන් වෙනුවෙන් කතා කළ සහ එවැනි සටන් පිළිබදව ජන සමාජය දැනුවත් කළ දහස් ගණන් තරුණ තරුණියන් බලයේ සිටින පාලකයින්ට සිතු සිතු ලෙස තැන් තැන්වල මරා දැමුනු සහ අතුරුදහන් කළ බිමක, අදටත් උතුරේ බළහත්කාරයෙන් පැහැරගෙන ගිය, තමාගේ දරුවන්ට සිදුවූයේ කුමක්දැයි කියා නොදන්නා ඔවුන්ට යුක්තිය ඉල්ලමින් සටන් කරමින් නොනිමි අරගලයක යෙදෙන දෙමළ මවුවරුන් අතරින් මනෝරාණි සරවනමුත්තු වාසනාවන්ත මවකි. මක් නිසාද යත් ඇයට ඇගේ දරුවාට සිදුවූයේ කුමක්ද කියා පැය කිහිපයකින් දැන ගන්නට ලැබුණි. ඇයට තමා ඉදිරියේම බලහත්කාරයෙන් පැහැරගෙන ගිය තම පුතුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැක ගන්නට ලැබුණි.
මනෝරාණි සරවනමුත්තු කොළඹ ඉහළ මධ්‍යම පන්තියේ කාන්තාවකි. ඇගේ ඇසුරත් ඇගේ දැනුමත් ඒ පන්තිය හා බද්ධය. ඇගේ එකම දරුවා රිචඩ් ද සොයිසාත් එලෙසම හැදුනු වැඩුනු ඒ සංස්කෘතියේම මිනිසෙකි. කොටින්ම කිව්වොත් එවැනි පාන්තිකයකුට මෙවැනි ඉරණමක් සිදුවේයැයි කියා ඔවුන් සිහිනෙකුදු නොසිතන්නට ඇති. නමුත් සිදුවන්නට නියමිත ම්ලෙච්චත්වය පන්තිතිබේදයෙන් තොරවම සිදුවිණි.
කෙසේ නමුත් මෙරට දේශපාලන ඝාතන ලෙසින් මරා දැමු මාධ්‍යවේදින් අතරින් රිචඩ්ට සුවිශේෂි තැනක් හිමි වන්නේ ඔහු කොළඹ එලීට් සමාජ පන්තියේ සාමාජිකයකු වීමත් නළුවකු ලෙසත් රූපවාහිනී නිවේදකයකු ලෙසත් ඔහු වටා බිහිව තිබූ ඒ අපූරු කැරිස්මාවත්(charisma) නිසාවෙනි.
“මං ඉංග්‍රිසි ප්‍රවෘත්ති බැලුවේ ඉංග්‍රීසි දන්න නිසාම නෙමේ. රිචඩ්ව බලන්න ඕන නිසා.”
රාණි හී රිචඩ්ට ඒකපාර්ශවීය ලෙස පෙම් කරන යුවතිය පවසයි. ඇත්තෙන්ම රිචඩ්ගේ එම කැරිස්මාව නිසාවෙන් ඔහු මාධ්‍යවේදියෙකුටත් වඩා සාමාන්‍ය ජනතාව අතර එකල සැලකිය යුතු ජනප්‍රසාදයක් අත් කර ගනු චරිතයක් විය. මාගේ මතකයට අනුව එකල රූපවාහිනියේ ඉංග්‍රීසි නිවේදකයන් අතරින් ඒ ආකාරයේ ජනප්‍රියත්වයක් හිමිව තිබු අනෙකා වූයේ ඉංග්‍රිිසි නිවේදක රවී ජෝන් පමණි.
මේ සියල්ල කැටි කරගත් පසු රිචඩ්ගේ ම්ලේච්ඡ ඝාතනයත්, ඒ ආශ්‍රීතව සිදුවු අනෙකුත් ඝාතනත් පාවිච්චි කරමින් බලයට ඒමට දතකමින් සිටි විපක්ෂ බලවේගවලට මනෝරාණි සරවණමුත්තු යනු තමන්ට බලය යලි ලබා දිමේ ඩයිනමෝව වීම නොවැලක්විය හැකි කරුණකි. ඔවුන් මවුවරුන්ගේ පෙරමුණ නමින් පෙරමුණක් සාදාගෙන එහි ප්‍රමුඛත්වය මනෝරාණිට ලබා දෙන්නේද පෙර කී කොළඹ ඉහළ මධ්‍යම පාංතික කැරිස්මාවට ඇති සමාජ ආකර්ශනය නිසාවෙනි.
නමුත් අවසානයේ ඇයට ඔවුන් කරන්නේත් අනෙක් සියල්ලන්ටම සිදුකල දේමය. බලයට පැමිනි පසු මුල අමතක කිරීමය. කෙසේ නමුත් මනෝරාණිට මැයි පළමුවැනිදා පිපිරී යන බෝම්බයෙන් ලෙයට ලෙය යන පළිගැනීමේ යුක්තිය ඉටුවුනද ඇය මියෙනතුරාම ඇයට නීතියේ යුක්තිය නම් ඉටු වු බවට තොරතුරක් මා දන්නා තරමින් නම් නැත.
1990 දි රිචඩ් පැහැර ගෙන ගොස් මරා දැමූ බවට පත්තරවලින් දුටු මේ සටහන ලියන මා, රණසිංහ ප්‍රේමදාස මැයි පළමු වැනිදා මහමග බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර වු බව රූපවාහිනියෙන් දුටු- එදිනම අවට සෑම තැනම අවුරුදු දා සේ රතිඤ්ඤා පුපුරනු ඇසූ මා මෙදින රාණි චිත්‍රපටය නරඹන විටදි දුටු ඒ දර්ශනත් සමගින් එකල ඒ අඳුරු අතීත මතකයන්වලට සැණකින් ඇදී ගියේය.
එවක මා පාසල් ශිෂ්‍යයෙක්ව සිටි නිසාම මේ සටහන ලියන්නට අද සිටීමට මා වාසනාවන්ත වූ බව දැන් මා හට සිතෙයි. එහෙත් එවකට පැවති අසාධාරණ පාලන ක්‍රමයට එරෙහිව නොබියව හඩ නැගු සහ සටන් කර මියැදුනු උතුරේ සහ දකුණේ ඒ නම් ගම් නොදන්නා තරුණ තරුණයින්ගේ සහ ඔවුන්ගේ මවුවරුවන්ගේ අති සංවේදි කතා මේ බිමේ තව කොතරම් ඇත්ද? ඒවා පිළිබද අප කෙතරම් දැනුවත්ද? මේ මොහෙතේත් බලහත්කාරයෙන් අතුරුදහන් කරවූ තම දරුවන් සොයන ඒ උතුරේ දෙමළ මවුවරුන්ගේ යුක්තියේ අරගලයට දකුනේ අප කෙතරම් සංවේදීද?
මා හට අශෝක හඳගමගේ රාණි චිත්‍රපටය පෙනුනේ රිචඩ් ද සොයිසාගේ ඝාතනය ගැන තැනු චිත්‍රපටයක් වත් මනෝරාණි සරවනමුත්තුගේ මවුවත් භාවය ගැන තැනු චිත්‍රපටයක් ලෙසින් වත් නොව මෙරට බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබු තරුණ තරුණියන්ගේ මවුවරුන්ගේ තවමත් ඉටු නොවු යුක්තිය ගැන නොකියු නොලියු නොතැනු කතාවක් ලෙසිනි.
නිලංක ඇලෙක්සැන්ඩර් (Alex)