මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඇප මත මුදාහරින ලෙස ඉදිරිපත් කර තිබුණු අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ පී.එම්.ටී. බන්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ අධිකරණය මගින් වරදකරු කළ විත්තිකරුවකු අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමේ දී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
එහෙත් මෙම විත්තිකරුවන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂී කරුණු නොවන බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ඉකුත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවලට වරදකරු කළ මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් එම නියම විය.





