නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නමින් පවත්වාගෙන යන මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ලට අදාල හිස් භූමියේ ගේට්ටු සහ බැමි මාසයක් ඇතුළත ඉවත් කරන ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන දුම්රිය බලධාරින්ට දැනුම් දී තිබේ.
ඒ,නාවලපිටිය සමෘද්ධි බැංකු ශ්‍රවණාගාරයේදී පසුගිය 31 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතු අදාළ ඉඩමක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නමින් පවත්වාගෙන යන මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල, උත්සව භාණ්ඩ සැපයීමේ මධ්‍යස්ථානය හා ඒ ආශ්‍රිතව ගේට්ටු යොදා වසා දමාඇති හිස් භූමිය යන කොටස් 03 පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් නිලධාරීන් විසින් කර තිබුණු අතර එහිදී කොටස් දෙකකට බදුකරයක් ලබා දී ඇති බවත්, ඉතුරු කොටසට තාවකාලික අවසරයක් ලබා දී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි නිළධාරීන් ප්‍රකාශ දන්වා තිබේ.
මෙම පරිශ්‍රය ප්‍රථමයෙන් නේවාසික ගිවිසුමක් මත ලබා දුන්නද පසුව එය පුණ්‍ය කටයුතු සහ වාණිජ කටයුතු ලෙස ගිවිසුම වෙනස් කර ඇති බවත් තක්සේරු කළ මුදලෙන් කොටසක් ගෙවා ඇති බවත් නිලධාරීන් පවසා ඇත.
එහිදී බදුකරයේ ගිවිසුමට අදාළ නොවන භාවිතය යෙදෙන හිස් භූමිය අවකාශයේ සඳහා ගේට්ටු යොදා ආවරණය කර ඇති කොටසේ එම ගේට්ටු සහ බැමි මාසයක් ඇතුළත ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට දන්වා තිබේ.
අනවසර ඉදිකිරීම් ඉවත්කරන පසුබිමක රජයේ වටිනා ඉඩම් කිසිවෙකුට හෝ හිතුමතේ භාවිතා කළ නොහැකි අතර එම ඉඩම බිස්නස් මොඩියුල් එකක් ලෙස සකස් කර විකිණීමේ හැකියාව පවත්නා හෙයින් අවශ්‍ය නම් මහින්දානන්ද අලුත්ගමගේටම මුදල් දී ලබා ගැනීමේ ඉඩද පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
මාසයක කාලයක් තුළ ගේට්ටු තාප්ප ඉවත් කළ යුතු වන අතර අවශ්‍යතාව මත පොලීසිය සහ නාගරික දේශපාලන අධිකාරියට මැදිහත්වීමේ ඉඩද පවතියි.
අනතුරුව ඉඩම වෙන්දේසි කරනවා නම් කළ හැකි අතර ඊට නීතිමය බාධාවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.





