/ Dec 17, 2025

ඉඩම් පරිහරණය ගැන දැන්වත් තීරණයක් ගන්න – මහාචාර්ය කිත්සිරි දසනායක

ලංකාවේ ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් නොමැති අතර කිසිඳු කළමනාකරණයකින් තොරව සිදුකරන ලද තෙත් බිම් ගොඩකිරීම්, කඳු ආශ්‍රිත අවිධිමත් විදිහට නිවාස, කර්මාන්තශාලා ඉඳිකිරීම වැනි බරපතල දේවල්වල ප්‍රතිඵල පාරිසරික ව්‍යසන ලෙස අත්දකින්නට සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය කිත්සිරි දසනායක පවසයි.

මෙහිදී වැඩිවශයෙන් වගකිව යුතු පාර්ශවය වන්නේ දේශපාලන තන්ත්‍රය වන අතර ජන්ද පදනම රැකගැනීම වෙනුවෙන් එවැනි ඉදිකිරීම් වෙත අනුබලය ලබා දෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එවැනි ඉදිකිරීම් වෙනුවෙන් වැලැක්වීම සඳහා වත්මන් රජය පියවර ගන්නා බව පවසා තිබුණද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බව දසනායක මහතා කියා සිටියි.

උදහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනය වෙලාවේ වෙරළේ සිට මීටර් 150ක් දක්වා ඉඳිකිරීම් නැවත්වීමට තීරණයක් ගත්තද අද වන විට මුහුදු වෙරළවල් පුරාම විවිධ ඉඳිකිරීම් දැකගත හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

”අපිට දැනටමත් දේශීය සහ ජාත්‍යන්තර මට්ටමෙන් ස්වාභාවික ව්‍යසන කළමනාකරණය කිරීමට අදාළව විවිධ ප්‍රතිපත්ති තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අපි රටක් විදිහට දුර්වලයි. බරපතලම කාරණය තමයි ආයතන අතර විධිමත් සම්බන්ධීකරණයක් නැහැ. ඒ අඩුව අපි මේ ව්‍යසනයේදී තදින්ම දැක්කා. උදහරණයක් විදිහට මෙවර ව්‍යසනයේදී භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයේ මැදිහත් වීමක් අපිට දකින්න ලැබුණේ නැහැ. හැබැයි අපි දන්නවා ලංකාවේ නාය යාම් ගැන හඳුනා ගැනීමට භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය ඉතාම වැදගත්. ඊලගට අපි බලන්න ඕන ප්‍රජාවක් විදිහට අපි ආපදාවකදී ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් ද කියන ප්‍රශ්නයත් මෙහිදී අමතක කරන්න බැහැ. අපිට ජනතාවගේ හැසිරීම දිහා බැලුවම පේනවා අපදාවක් සහ එහි අවදානම ගැන ජනතාවට ප්‍රමාණවත් දැනුමක් ලැබිලා නැහැ. අනිත් එක තමයි සන්නිවේදනයේ දුර්වලයකුත් අපි මේ ව්‍යසනයේදි දැක්කා. අවශ්‍ය ප්‍රදේශවල ජනතාවට අවදානම ගැන නිවැරදිව සහ ඉක්මනින් දැනුවත් කිරීමක් වෙලා තිබුණේ නැහැ.

ඊලඟ කාරණය තමයි දිට්වා වැනි ව්‍යසනයකින් පස්සෙවත් ආපදාවක් සඳහා දීර්ඝකාලීන සැළසුමකට යන්න අපි සූදානම් නැහැ. මං දැක්කා රජයේ සමහර ඇමතිවරු කියනවා පස් දාලා පොළවේ පැළුම් වහන්න ඕන කියලා ඒ ඇමතිවරයා දන්නේ නැහැ පොළොවේ පැළුම්වලින් පෙන්නුම් කරන්නේ පහලින් භූමිය චලනය වෙනවා සහ ස්තායීතාව අඩුයි කියන එක කියලා. ඒකට පස් දාලා වහනවා වගේ පැලැස්තර විසඳුම් හරියන්නේ නැහැ. නිවැරදි විද්‍යාත්මක විසඳුම් මේවට තියනවා. ඒ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් අරගෙන දීර්ඝකාලීන විසඳුමකට යනවා වෙනුවට ලෝ බජට්වලින් මේක කළමනාකරණය කිරීමෙන් වෙන්නේ ඉදිරියේදී මීටත් වඩා බරපතළ අනතුරක් වීමේ අවදානමක් නිර්මාණය වීම විතරයි. ” යනුවෙන් දසනායක මහතා තවදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (16) කොළඹදී ” දිට්වා ව්‍යසනයේ පාඩම් සහ අභියෝග ” මැයෙන් ජනතා වෘත්තික මධ්‍යස්ථානය සංවිධානය කළ සම්මන්ත්‍රණය අමතමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top