මාලදිවයිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසන්නේ, දුම්කොළ සම්බන්ධයෙන් වයස් අනුව තහනමක් (generational prohibition) සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන බවයි.
මෙවැනි තහනමක් ඇති ලෝකයේ එකම රට මේ වන විට මාලදිවයිනයි.
මෙම ක්‍රියාමාර්ගය 2007 ජනවාරි මාසයෙන් පසු උපත ලැබූ ඕනෑම පුද්ගලයෙකුට අදාළ වනු ඇත. මෙම ප්‍රතිපත්තියට ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතාගේ සහාය මේ වසර මුලදී ලැබිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම තහනමේ අරමුණ වන්නේ “මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ දුම්කොළවලින් තොර පරම්පරාවක් ප්‍රවර්ධනය කිරීම” බවයි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ: “නව විධිවිධානය යටතේ, 2007 ජනවාරි 1 හෝ ඉන් පසුව උපත ලැබූ පුද්ගලයන්ට මාලදිවයින තුළ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම, භාවිත කිරීම හෝ ඔවුන්ට විකිණීම තහනම් වේ.”
“මෙම තහනම සියලු ආකාරයේ දුම්කොළ සඳහා අදාළ වන අතර, සිල්ලර වෙළෙන්දන් අලෙවියට පෙර වයස තහවුරු කළ යුතුයි,” එය තවදුරටත් සඳහන් කරයි.
වයස අවුරදු 18ට අඩු පුද්ගලයෙකුට දුම්කොළ නිෂ්පාදන විකිණීම සඳහා රුෆියා 50,000 ක ($3,200) දඩයක් නියම වනු ඇත.
සංචාරකයන්ටද තහනම බලපැවැත්වේ
මාලදිවයින යනු උතුරේ සිට දකුණට කිලෝමීටර 800 ක් (සැතපුම් 500 ක්) පමණ පුරා විසිරුණු, සමකයට දකුණු ඇටෝල් හරහා ගමන් කරන කුඩා කොරල් දූපත් 1,191 කින් සමන්විත දකුණු ආසියානු දූපත් රාජ්‍යයකි.
මෙම දූපත් සමූහය සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධය.
සංචාරකයින්ට ද මෙම විස්තීර්ණ තහනම අදාළ වන අතර, එයට ඉලෙක්ට්‍රොනික සිගරැට් සහ වේපින් නිෂ්පාදන ආනයනය, විකිණීම, බෙදා හැරීම, සන්තකයේ තබා ගැනීම සහ භාවිත කිරීම ද ඇතුළත් වේ.
ඉලෙක්ට්‍රොනික සිගරැට් සහ වේපින් තහනම වයස නොතකා සියලුම පුද්ගලයන්ට අදාළ වේ. තහනම් කරන ලද වේප් උපාංග භාවිත කිරීම සඳහා රුෆියා 5,000 ක දඩයක් නියම වනු ඇත.
මේ වන විට, එවැනි දුම්පානයට එරෙහි නීතියක් මුලින්ම පැනවූ රට නවසීලන්තය වුවද, එය හඳුන්වා දී වසරකටත් අඩු කාලයකට පසු, 2023 නොවැම්බර් මාසයේදී අවලංගු කරන ලදී.





