(ලිපිය අවසානයේ මාලිනි ෆොන්සේකාගේ දුර්ලභ ඡායාරූප කිහිපයක් ඇතුළත් වේ.)
දසක 8ක ආසන්න කාලයක ප්‍රභාස්වර ජීවිතයක් ගත කළ මාලිනී ෆොන්සේකා රූප කාය හැර දමා නික්මී ගියා ය. සිනමා තාරකාවෝ රූපකාය අත්හැරිය ද ජීවමාන වෙත්. මාලිනිය වැනි ඉන්ද්‍රජාලයක් සිනමා කප නස්නා කලක් වෙන තෙක් මැකී නොයන බව සහතික ය.
මේ වෙද්දීත් මෙරට සිටින්නේ මාලිනී පිළිබඳ සිහියෙනි. සැට වයස් පිරූ අයගේ සෝකය ගැන සිතිය හැකි වුවද නූතනම තරුණ පරපුරේ පිරිස් ද ඇගේ සමුගැනීම ගැන සෝක වෙති.
දසක 8කට ආසන්න කාලයක දිවියක් යනු මෙකල පරමායුෂයකි. එහෙත් මින් වසර දෙකකට පෙර පවා මාලිනී එක්තරා සාකච්ඡාවකදී පැවසුවේ තමාට කළ යුතු තව බොහෝ වැඩ ඇති බවයි. ඇගේ ජවසම්පන්න ජීවන පැවැත්ම එබඳු ය.
විනෝද කර්මාන්තය වර්ධනය වෙමින් පැවැති මුල් කාලයේ – විනෝද මාධ්‍ය අවමයෙන් පැවැති කාලයේ මාලිනී ඒ වෙත පිවිසියා ය.
රුක්මනී දේවි සහ ඇගේ පරපුර කාන්තාවන්ට සිනමාවට පිවිසීමට තිබුණු බාධක බොහොමයක් බිඳ දමා තිබුණු අතර සිනමාවේ නව ප්‍රවණතා විසින් රුක්මනී වෙනුවට කෙනෙකු ඉල්ලා සිටි තත්වයක් එළැඹ තිබුණි.
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් අනුයන ලද වේදිකාමය නොහොත් ඉන්දීය සිනමාවේ 12 වැනි භාෂාවේ සිනමාව වෙනුවට ලාංකේය හැඩයක් සහිත සිනමාවක් – සුගතපාල සෙනරත් යාපා – පතිරාජ, වසන්ත ඔබේසේකර වැනි අයගේ සිනමාව ඉල්ලා සිටි ප්‍රභාස්වර නිළි තාරකාවකට රික්තයක් ඇති වෙමින් තිබිණ. ඒ වෙද්දී, ප්‍රධාන නිළිය ලෙස සිටි රුක්මණීයගේ භූමිකාව ඇගේ වයස විසින් පෙම්වතියගේ සීමාව අවසන් කරමින් සිටියා පමණක් නොව නව වෙනස ඉල්ලූ තත්වයන්ට ඇය නොසරි විය.
මාලිනී මතුවන්නේ මෙවැනි සන්දර්භයක් මත්තේ ය. රුක්මණී වැනි අය හෙළි පෙහෙළි කරන ලද මග ඔස්සේ ය.
අද මෙන් පහසු හෝ විනෝද කර්මාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය ඔජ වැඩුණු යුගයක් නොවී එය.
ඇය වේදිකාවට පය තබන්නේ, වසර 15ක 16 ක තරම් කාලයේ දී ය. ඇය ජීවිතය ගත කළ අවුරුදු 78න් වසර 60කට වඩා ඇය දිවි ගෙවා ඇත්තේ රංගනයේ ය.
රංගන පාසල් හෝ අන්තර්ජාලය හෝ හැදෑරීමට කිසිත් නොමැති කාලයක ඇගේ රංගනය ඔප් නැගීම විස්මයදනවනසුළු ය. ඇයගේ කතා බහ සහ ඈ ගැන විපරමින් පෙනී යන්නේ, රංගනය ජීවිතය ලෙස තෝරාගත් පසු ඈ ඒ වෙනුවෙන් අප්‍රතිහත ලෙස දිවිය කැප කළ බවය.
එවක ජනප්‍රියත්වයේ සහ ප්‍රභාස්වරයේ හිණිපෙත්තේ සිටි මාලිනී, “සිරිපාල සහ රන්මැණිකා” සිනමාපටයේ රන්මැණිකා ලෙස ආකර්ශණීයත්වය පිරිහෙළා ගැනීම (Deglamourize) පුදුමය දනවයි. මේ තීරණය ගනිද්දී ඈ තිස් වියට වත් එළැඹ නොසිටියා ය. එහෙත් ඒ නිර්භය තීරණය වෙනුවෙන් ඈ ලද ප්‍රතිලාභය 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ ( 1977) ගෞරව කුසලතා සම්මාන සහතිකය ලැබ ගැන්මයි.
ජනප්‍රිය සිනමාවේද, සම්භාව්‍ය සිනමාවේ ද යන ඉවුරු දෙක යා කිරීමට එතරම් සිනමාපට ගණනක් රඟපෑ තාරකාවක් වී නම් මාලිනී පමණකැයි සිතේ. ලෙස්ටර්ගේ “නිධානයේ” රංගනයේ යෙදෙන අතර ම ලෙනින් මොරායස්ගේ “එදත් සූරයා අදත් සූරයා”හි රංගනයේ යෙදුණා ය. ධර්මසේන පතිරාජගේ “අහස්ගව්ව” සමකාලීනව සේන සමරසිංහගේ “කස්තුරි සුවඳ” වැනි ජනකාන්ත සිනමාපටයක රඟපෑවා ය. මෙතරම් යෞවන වයසකදී මෙම දෙඅන්තයන් සමබර කරමින් ඒවාට සාධාරණය ඉටු කළ අයුරු දැක පුදුම නොවී සිටිය හැකි ද?
සිංහල සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගකාරක තාරකාවක් වූ මාලිනීගේ නමට සිංහල සිනමාපට 160ක් පමණ ලියැව තිබේ. ගාමිණී-මාලිනී, විජය-මාලනී, රවීන්ද්‍ර-මාලිනී, සනත්-මාලිනී යුගල පදවල පොදු ලකුණ ඈ විය. ඈ වරෙක පැවසූ ආකාරයට කිසි දිනක ඈ විසින් නළුවන් වරණය කර නැත. මෙම නළුවා දෙන්නැයි කියා නැත. ජෝ සමඟ, ජෝති සමඟ පමණක් නොව ප්‍රියංකර පෙරේරා සමඟ ද ඇය රංගනයෙන් එක් වූවා ය.
සෑහෙන කලක් පුරා සිංහල සමාජයේ පුරුෂ චින්තනයේ සිහිනමය ස්ත්‍රී හැඩය තීරණය කරනු ලැබුවේ මාලිනී ෆොන්සේකා විසින් බව කීම බොරු නොවේ. දිගු වරලස, මුහුණ, දෙඇස් ඒ මාලිනීමය පෙනුම සෑහෙන කාලයක් තිස්සෙ පිරිමි සිත සෙවූ සිහිනයයි.
තාරකා ප්‍රභාස්වරය පවත්වාගැන්ම ලෙහෙසි කටයුත්තක් නොවේ. භෞතිකවද පහසු වැඩක් නොවේ. වරෙක ඈ කියුවේ අමාරුවෙන් හරි කාලෙට හරියන ස්ටයිල් කළා. ඇඳුම් ගත්තා වියදම් කළා.. යනුවෙනි.
පුරාවෘත්තයක් බවට පත්ව මාලිනී ෆොන්සේකා නික්ම ගොසිනි. මිනිසුන් මියයෑම සාමාන්‍ය දෙයකි. අජරාමර මිනිසුන් ඇත්තේ, නැත. තාරකාවෝ පවා මිලිනව යති. සෝක විය යුත්තේ ඊට නොව, මාලිනීය වැන්නියක් ලෙහෙසියෙන් නිර්මාණය නොවන බැවිනි. ඒ බව තේරුම් ගන්නට මාලිනියගේ අවමංගල කටයුත්ත නිරීක්ෂණය කිරීම වුවද සෑහෙයි.
මාලිනී ඇය සිය තෝරාගැනීම වෙනුවෙන් දිවියම කැප කළා ය. නිමග්න වූවා ය. පුරාවෘත්තයක් බවට පත් වූවා ය.
මාලිනිය
ඇය ඉන්ද්‍රජාලය යි!
- සඳුන් ප්‍රියංකර විතානගේ

සිඟිති මාලිනී

යෞවනයට එළැඹෙමින්

මවයි පියයි

සොල්දාදු උන්නැහේ පේමක්කා

කස්තුරි සුවඳ – හද විමන් දොරින්!

උන්නත් දාහයි මළත් දාහයි

බොලිවුඩය සමඟ

දර්ශණ තලයකදී



