/ Oct 19, 2025

විරෝධයට තඩි බෑමේ අතීත ක්‍රමය මන්නාරමෙන් පොලා පැනීම: සිදුවන්නේ කුමක්ද?

කාලයක් තිස්සේ මන්නාරම් දූපතේ නොසන්සුන්තාවක් හටගෙන තිබිණ. ඒ ඉදිකිරීමට නියමිත සුළං බලාගාර සහ කැණීමට නියමිත ඛනිජ නිධි හේතුවෙන් ජනතාවගේ ජීවිතවලට සිදුවන අපහසුතාවන් හේතුවෙනි. මෙහි වඩාත් උණුසුම් අවස්ථාවක් එළැඹුණේ පසුගිය දා එම ඉදිකිරීමට යෝජිත බලාගාරවල කොටස් ගෙන ඒමේදී විරෝධය දැක්වූ ජනතාවට සිදු කළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය නිසාවෙනි. Lankatimes මේ විමසුම ඒ ගැනයි.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය වෙත අඩිතාලම වැටෙන්නේ, 2010 දසකයේ මුල පටන් ය. 2010-2013 කාලයේ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව මන්නාරමේ සුළං බලය පිළිබඳව විස්තරාත්මක ඇගැයීමක් සිදු කළ අතර එහිදී වසර පුරා එහි පවතින සුළං විභවය තහවුරු කරගන්නා ලදී.

2015 වන විට ප්‍රධාන සැලැස්මක නිර්මාණය වී තිබු අතර, එයින් සුළං බල සංවර්ධන කලාපයක් යෝජනා වී තිබුණි. රටේ බලශක්ති අර්බුදයක් ඇති බැවින් විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කිරීම යුක්තියුක්තය. සුළං බලය හරහා ජාතික විදුලිබල පද්ධතියට 375 MW පමණ ලබා ගැනීමට අපේක්ෂාව මේ සැලැස්මේ තිබෙන බව කියැවෙයි.

දේශපාලන බල පෙරළි බොහොමයක් සිදු වී මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විසින් පාලනය හොබවන අතර ජාතික විදුලිබල අවශ්‍යතා සැලැස්ම ක්‍රියාත්මක කරන්නට සිදුව ඇත්තේ ඔවුනට ය.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 26 දා මන්නාරම නගරයේ ඉදි කිරීමට අපේක්ෂිත සුළං බලාගාර වෙත ටර්බයින සහ අනෙකුත් උපකරණ ‌ගෙන යෑමේදී නොසන්සුන්තා ඇති වූ අතර මේවා පොලිස් බලයෙන් මර්දනය කෙරුණේ පෙර පාලනයන්වල ම්ලේච්ඡ මර්දනය සිහි කරමිනි.

මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැණීම් නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් (සැප්තැම්බර් 26 වැනිදා) මන්නාරම නගර මධ්‍යයේ විරෝධතාවල නිරත වෙති.

මෙම බලාගාර ඉදිකිරීම් කටයුතු නිසා නගරාශ්‍රිත ඇළ මාර්ග අවහිරව ඇති බවත් වැසි ජලය සහ අපජලය බැහැර නොවී නිවාස යට වීමෙන් ජන ජීවිතයට මහත් බාධා ඇතිව තිබෙන බවත් කියමින් ජනතාව විරෝධය පළ කරති. මන්නාරම යනු මුහුදු මට්ටමට පහළින් ඇති නගරයක් බැවින් ගංවතුර ප්‍රශ්නය කවදත් එහි තිබුණේ ය. මේ වෙත්දී සුළු වැස්සටත් එම පෙදෙස් යට වී ළිං වතුර දූෂණය වන බවත් වෙනත් පාරිසරික ප්‍රශ්න සහ සෞඛ්‍ය ප්‍රශ්නද උද්ගත වන බවත් විරෝධතාකරුවෝ කියා සිටිති.

ටර්බයින හඬ සහ දෙදරීම නිසාවෙන් මන්නාරම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර කර්මාන්තයද අර්බුදයට යනු ඇතැයි ඔව්හු සාධාරණ ලෙස බිය පළ කරති.

එසේ ම මන්නාරම යනු මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ (Central Asian Flyway) පිහිටි ඉතා වැදගත් සංක්‍රමණික පක්ෂීන්ගේ නැවතුම් පොළකි. සුළං ටර්බයින සවි කිරීමෙන් සංක්‍රමණික පක්ෂීන්ට අනතුරු සිදුවීම, ඔවුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම සහ ප්‍රදේශයේ සියුම් පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව පරිසරවේදීන් දැඩි ලෙස අනතුරු අඟවයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පතක් වන ඉහළ වටිනාකමින් යුතු ඉල්මනයිට් කැණීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු බහු ජාතික සමාගමක් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බැවින් ඊට විරෝධය පළ කරන බවද විරෝධයේ යෙදෙන පිරිස් පවසති.

ඒ අනුව මන්නාරම ආශ්‍රිතව මතුව ඇති නොසන්සුන්තාව යනු එක් සරල කරුණක් මතින් පැන නැගුණක් නොවේ. එය කරුණු ගණනාවක් හේතුවෙන් පැන නැගුණකි.

මෑතදී උත්සන්න‌ වීමට පෙර පැවැති විරෝධතා හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේදී ජනපති අනුර කුමාර දිසානායක විසින් මෙම ඉදිකිරීම් අත්හිටුවීමට පියවර ගන්නා ලදී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තා අනුව ජාතික අවශ්‍යතා සලකා නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ජනපතිවරයාම තීරණය කළ බව කියැවේ.

මේ වන විට මන්නාරම තවත් උණුසුම් වී තිබේ.

විරෝධතාවලට පහරදුන් පොලිසිය පෙන්නුම් කළේ – පැරණි පොලිස් ම්ලේච්ඡත්වය ම ය. ජනපතිවරයාම මැදිහත්ව තාවකාලිකව නැවතූ ව්‍යාපෘතියක් යනු ගැටලුවක් ඇති යමක් බව පැහැදිලි විය යුතු ය.

පීඩාවන්ට, ජීවිත අර්බුදයට මුහුණ දුන් ජනයාට බැටන් පොලු හරස් කිරීම පෙර පැවැති දේශපාලන සංස්කෘතියේ උරුමයයි.

මෙයම කරපින්නාගෙන යෑම නව රජයේත් උරුමයදැයි ඍජුව ප්‍රශ්න කළ යුතු ය.

බලශක්ති අර්බුදයක ගිලී ඇති රට එයින් මුදවා ගැනීමට විකල්ප බලශක්ති ක්‍රමවලට යොමුවීම අනිවාර්යෙන් කළ යුත්තකි. එහෙත් ඒ හරහා රටේ ජනතාවගෙන් කොටසක් විනාශ මුඛයට යන්නේ නම් එතැන ගැටලුවක් තිබේ.

මේවා විසඳිය යුත්තේ පොලිස් පොල්ලෙන් තඩිබෑමෙන් හෝ පෙර ලෙස ජනතා මුදලින් ගත් උණ්ඩවලින් වෙඩි තබා ජනතාවම ඝාතනය කර නොවේ.

මේ ගැන වඩාත් බරපතළ සංවාදයක් ඇති කරගෙන වඩාත් ජනහිතකාමී ලෙස කටයුතු කිරීමෙනි. එසේ නොවෙන්නේ නම්, වත්මන් රජයද ඉතා ඉක්මනින් අමාරුවේ වැටීම නියතියකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top