/ Jul 26, 2025

ප්‍රබලයෝ ගණනාවක් ඇතුළේ: තව ගණනක් පෝලිමේ!

මෙරට දේශපාලනයේ ප්‍රබල ලෙස කටයුතු කළ හිටපු මැති-ඇමැතීන් ගණනාවක් මේ වන විට එල්ල වුණු චෝදනා සඳහා දඬුවම් ලැබ සහ නඩු කටයුතු නිසාවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.

හිටපු ප්‍රබල දේශපාලකයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ වසර 20කට බරපතළ වැඩ ඇතිව හිරේ ගියේ ය. හිටපු ඇමැතිවරයෙකු වූ නලින් ප්‍රනාන්දු ද වසර 25කට ඇතුළේ ය. හිටපු ඇමැතිවරයෙකු සහ ප්‍රබලයෙකු වූ දුමින්ද සිල්වා, ජනාධිපති සමාවද ලැබ පසුව එය බලරහිත වී නැවත දඬුවම් විඳී. 

දේශපාලන ක්ෂේත්‍රයේ පුවත් මැවූ චරිතයක් වූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ ය. හිටපු ප්‍රබලම දේශපාලකයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ සිද්ධියක් සම්බන්ධයෙන් තවමත් රක්ෂිත බන්ධනාගාරයේ ය. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීරද සිටිනුයේ රක්ෂිත බන්ධනාගාරගත වී ය. උතුරු මැද දේශපාලනයේ ප්‍රබලයන් වූ දිසානායක පවුලේ ප්‍රබල දේශපාලකයා දුමින්ද දිසානායකද ගිනි අවි සිද්ධියකට මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ ය. දිසානායක පවුලෙන් පසුව උතුරු මැද ප්‍රබලයන් වූ එස්.එම් පවුලේ එස්.එම්. රංජිත්ද හිරේ විලංගුවේ ය.

තවත් මෙවැනි වංචාවන් සම්බන්ධ නඩු 20ක් පමණ ඉදිරියේදී කඩිනමින් ඇසීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි. බාල වර්ගයේ කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් මිලියන දහස් ගණනක් රජයට අලාභ කිරීමේ නඩුව සම්බන්ධයෙන් ශෂින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගනිතැයි රාවයක් ද පසුගිය දා පැතිර ගියේ ය. ඒ අතර ප්‍රකාශයක් ලබා දීම පිණිස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශටද කැඳවුමක් ලැබී ඇත. ඉදිරියේ දී තවත් හිටපු දේශපාලන ප්‍රබලයන් සහ නිලධාරීන් ගණනාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.

ජාතික ජනබලවේගය පක්ෂය ලබාගත් ජනවරමේ එක් ප්‍රධාන අපේක්ෂාවක් මෙය බව බොහෝ දෙනා පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top