2010 – 2015 අතර කාලයේ දී රුපියල් බිලියන 1.03 ක මහජන මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන අරඹා ඇතැයි වාර්තා වෙයි.
සමාජ ක්‍රියාකාරිකයෙක් වන කාමන්ත තුෂාර නැමැත්තා විසින් සිදුකර තිබෙන එම පැමිණිල්ල පදනම් වී තිබෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ බලයට පත් වීමෙන් පසුව, ඊට පෙර පැවති රජයේ බරපතල වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබදව සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂමේ අවසන් වාර්තාව මතයි.
එම වාර්තාවට අනුව, 2010 ජනවාරි 02 ත් 2014 නොවැම්බර් 7 වන දාත් අතර කාලය තුළ සිදු කර තිබෙන ගුවන් ගමන් සදහා, බැසිල් රාජපක්ෂ, මඟ නැගුම ව්‍යාපෘතියේ මුදල් රුපියල් 155,451,612 ක් වැයකර තිබෙන අතර අදාල කාල සීමාව තුළ සුඛෝපභෝගී මෝටර් රථ තුනක් ඇතුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 14 ක් බැසිල් රාජපක්ෂ විසින් භාවිතා කර තිබෙන අතර, ඉන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් 612,000,000 කි.
2010 ජනවාරි 2015 ජනවාරි 10 ත් අතර කාලයේ, ඔහු ආරක්ෂාව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, නාවික හමුදා නිළධාරීන් 64 ක් සහ යුද හමුදා නිළධාරීන් 84 ක් යොදවාගෙන තිබී ඇති අතර, ඒ හරහා රජයට සිදුව ඇති අලාභය රුපියල් 264,370,800 කි.
මේ සියළු කරුණු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇති අතර ඊට අදාළ සියලු පාර්ශව සම්බන්ධයෙන්ද එම වාර්තාවේ දක්වා ඇති බව කාමන්ත තුෂර සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන බව සඳහන්.
ඒ අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව කියවෙයි.





