කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවිකුට අද (31) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබුණු අතර වෙඩික්කරු රෝහලේ තාප්පයට උඩින් පැන පලාගොස් ඇති බවට දැනට අනාවරණය කර ගෙන තිබේ.
වෙඩික්කරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණයක් බව වාර්තා වෙයි.
වෙඩිවැදීමෙන් තුවා ලබා ඇත්තේ නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා වන අතර ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකි.
ඔහු බන්ධනාගාර ගතව සිටියදී ද පසුගිය 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර ඇති බව සඳහන්.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ පාදයටද මාංචු යොදා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන 6.15ට පමණ වෙඩි තැබීමේ සිද්ධිය සිදුව තිබේ.
රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි රෝහල දැනුම් දී තිබෙන්නේ.
කළුතර අපරාධ කොට්ටාසය, විශේෂ කාර්ය බළකා නිලධාරින්, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.





