/ Jul 27, 2025

ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට ; හේතුව මෙන්න

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා ය.

එම සමුළුව හෙට සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වන්නේ “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.

මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම මෙම සමුළුව සඳහා සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහි දී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහි දී ඉදිරිපත් ‍වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top