/ Jan 23, 2026

මිහින්තලේ වනචාරියා: ලාල්කාන්තට නොදෙවෙනි නලින්දගේ ප්‍රතිචාරය!

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත විසින් පසුගියදා ”මිහින්තලේ වනචාරී” ලෙස දක්වමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ. ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

එම වනචාරී කතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් සිදුවෙමින් පවතින අතර ඊට පක්ෂව මෙන්ම විරුද්ධවද ප්‍රතිචාර පළවෙමින් පවතියි.

ඒ අනුව ලාල් කාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් මාධ්‍යවේදීන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ විමසීම් සිදුකළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රකාශය තුළ කිසිදු පුද්ගල නමක් සඳහන්ව නොමැති අතර කිසිවෙකු හෝ තමන්ට අපහාසයක් කර ඇතැයි සිතන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යා හැකි බවයි.

“එතුමා කිව්වේ මිහින්තලේ වනචාරියෙක් ගැන. මිහින්තලේ ආසනයේ 75,000ක් විතර ජනතාව ඉන්නවා. ඒ අතරින් වනචාරියා කවුද කියලා මම දන්නෑ. ලාල්කාන්ත ඇමතිතුමා කිව්වෙත් නෑ, අපි කියන්නෙත් නෑ. හැබැයි ඔබ (මාධ්‍යවේදියා) තමයි මේක අහවල් හාමුදුරුවන්ට කිව්වා කියලා දෙපාරක්ම කිව්වේ. ඇයි ඔබලාම මේකට නායක හාමුදුරුවන්ව පටලවන්නේ කියලා මට පුදුමයි.”

”ලාල්කාන්ත ඇමතිතුමා ඒ කියපු කෙනා කවුද කියලා මම එයාගෙන් අහන්න ගියේ නැහැ. මිහින්තලේ ආසනය ගැන මට වඩා එතුමා දන්නවා. ඒ නිසා එතුමා කවුරුහරි හිතේ තියාගෙන ඒක කියන්න ඇති. ඒ කෙනා ඔබ හිතන කෙනාම කියලා හිතන්න එපා,”

කෙසේවෙතත් මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට එරෙහිව පෙළගැසීම පිළිබඳව විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ මුළු මහත් සංඝරත්නයම නොව, ස්වාමීන් වහන්සේලා කිහිපනමකගේ අදහස් දැක්වීම් පමණක් තමන් දුටු බවයි.

එමෙන්ම ස්වාමීන් වහන්සේලා පවා මෙම ප්‍රකාශය මිහින්තලේ නායක හාමුදුරුවන්ටම එල්ල වූවක් බවට තීරණය කළේ කුමන පදනමකින්ද යන්න තමන්ට ගැටලුවක් බවද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

කෙසේවෙතත් මේ වන විට මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ කරළියට පැමිණ තිබෙන අතර ලාල්කාන්ත අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගන්නේ නම් තමන් සමාව දීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඇමරිකාව විසින් මෙරටට පැනවූ තීරු බදු ප්‍රමාණය අඩු කරගන්නා ලද්දේ තමන් වහන්සේ මැදිහත්වී බවටද ප්‍රකාශයක් සිදුකර තිබේ.

එම ප්‍රකාශයත් සමඟ මිහින්තලේ වනචාරී කතාව දැන් ට්‍රම්ප්ගේ තීරු බද්ද විසින් අත්පත් කරගෙන සිටින ආකාරයද සමාජ මාධ්‍ය පරිශීලනයේදී දක්නට ලැබෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top