වසීම් තාජුඩීන් ප්‍රකට දක්ෂ රගර් ක්‍රීඩකයාගේ ඝාතනය නැවත කරළියට පැමිණ ඇත්තේ, එකී ඝාතනයට සම්බන්ධ වීඩියෝ දර්ශනවල තම සැමියා සිටිතැයි මේ වන විට මිය ගොස් සිටින කජ්ජා හෙවත් අරුණ විදානගමගේ නමැති අයගේ බිරිඳ රහස් පොලිසිය වෙත පැවසූ නිසාවෙනි.
කාලයක් තිස්සේ, මෙකී මරණය ගැන රාජපක්ෂ පවුලට චෝදනා එල්ල වූ අතර නෛතික වශයෙන් නම් ඔවුනට බලපෑමක් එල්ල වූයේ නැත. ශිරන්ති රාජපක්ෂට අයත් සිරිලිය සවිය නම් පදනමේ ඩිෆෙන්ඩර් රථයක්ද මේ ඝාතනය වෙනුවෙන් යොදාගෙන ඇති බව නඩු කටයුත්තේදී හෙළිදරව් වූ බව කියැවුණි.
කෙසේ වෙතත්, මේ වෙද්දී පා.ම. නාමල් රාජපක්ෂ තාජුඩීන් ගැන කවරක් කීවත්, ඔහු සහ ඔහුගේ සොයුරන්ගේ තාජුඩීන් සමඟ තිබු විරසකය ප්‍රකට කරුණකි.
වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන්නේ මෙයට වසර 13කටත් එහා දිනකය. එනම් 2012 වසරේ මැයි මස 17 වැනිදා පාන්දරයි. ඝාතනයට ලක් වන විට ඔහුගේ වයස අවුරුදු 28කි. හෙතෙම අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පදිංචිය වැල්ලවත්තේය. ඔහුට වැඩිමල් සොයුරෙකු සහ සොයුරියක සිටි අතර පවුලේ බාලයා විය.
කුඩා කල සිටම රගර් ක්‍රීඩාවට ඇලුම් කළ තාජුඩීන් අසාධාරණයට එරෙහිව සිටගත් නාහෙට නාහන අයෙකු ලෙස ප්‍රකටව සිටියේ පාසල් කාල සිටමය.
සමකාලීන රගර් මිතුරන් ලෙසින් තාජුඩීන් රාජපක්ෂ සොයුරන් තිදෙනාම ඇසුරු කළ අතර ඔහු ඔවුන්ටද සලකා ඇත්තේ සාමාන්‍ය මිතුරන්ට සලකන ලෙසටම ය. පාසලේ ඔවුන්ට ලැබී තිබු ඉහළ තැන තාජුඩීන් මායිම් කර නැත.
තාජුඩීන් රගර් ප්‍රේමය අත්හැරියේ නැති අතර හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. රාජපක්ෂ බලය හිණිපෙත්තටම නැගි කාලයක් වූ මේ කාලයේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳී එහි රගර් කණ්ඩායමට ක්‍රීඩා කළේය. රෝහිත රාජපක්ෂද පවුල් හයිය භාවිතා කර නාවුක රගර් කණ්ඩායමට ක්‍රීඩා කළේය.
තම බලය භාවිතා කරමින් රාජපක්ෂ සොයුරන් නාවික හමුදා රගර් කණ්ඩායම ඉහළ ගෙනා අතර තාජුඩීන්ලාගේ හැව්ලොක් කණ්ඩායමද කරට කර සිටියේය. එසේම අනික් අයවලුන් මෙන් තාජුඩීන් රාජපක්ෂ සොයුරන් මායිම් කළේද නැත.
තාජුඩීන්ගේ මරණයට පසු විමර්ශනවලින් හෙළිව තිබුණේ, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හිමිකාරීත්වය ලබා ගැනීමට රාජපක්ෂ පුතුන් උත්සාහ කළ අතර වසීම් තාජුඩීන් එයට විරුද්ධ වී ඇති බවයි. ක්‍රීඩා සමාජයේ වැඩි පිරිසක් රාජපක්ෂ පුතුන් සමඟ යෑමට කැමැත්තෙන් සිටියද තාජුඩීන් නිසා එය වැළකුණු බව කියවෙයි.
එසේම තාජුඩීන්ගේ පෙර පෙම්වතියක් රාජපක්ෂ පුත්‍රයෙකු සහ පෙමින් බැඳීම නිසා ද ගැටලුවක් මතුව තිබු බව කියයි. ඇගේ සිරුරේ වූ උපන් ලප ගැන කියා තාජුඩීන් සරදම් කළ බව පතළ කතාවකි.
ඒ අවුඅස්සේ හැව්ලොක් සහ නාවික කණ්ඩයම් අතර රගර් තරඟයක් පැවැත්විණි. හැව්ලොක් ප්‍රධාන තුරුම්පුව තාජුඩීන් වූ අතර රාජපක්ෂ පුතුන් නාවුක කණ්ඩායමට ක්‍රීඩා කළෝය.
සාමාන්‍යයෙන් තම පුතුන් ක්‍රීඩා කරන රගර් තරඟ නැරඹීමට ශිරන්ති රාජපක්ෂ එවක ජනපති ආර්යාව සහභාගි වීම සිදු විය. මෙදිනද ඇය පැමිණ තිබු බව කියැවේ.
කරට කර තරඟයකින් අනතුරුව තාජුඩීන් තරඟයේ ජය තමා දෙසට හරවා ගත්තේ ය. ජයග්‍රහණය ලද අසුරු සැණින් ප්‍රධාන පීඨිකාව වෙත ගිය ඔහු සිය පශ්චාත්භාගය ඔවුන්ට පෙන්වමින් ඔච්චම් කළ බව කියති. මෙයද ඔහුගේ ඉරණම තීන්දු වීමට බලපෑ බව කියැවේ.
මෙම සිදුවීම්වලින් ඉතා සුළු කලකට පසු කිරුළපන ශාලිකා පිටිය අද්දර තාප්පයක් අසල ගිනිගෙන දැවුණු රථයක තිබී වසීම් තාජුඩීන් ප්‍රබල රගර් ක්‍රීඩකයාගේ සිරුර හමු විය.
මෙකී මරණය සිදුවූ දිනට පෙර දින ඔහුව සාදයක් සඳහා රැගෙන ගිය මිතුරු පිරිසකි. සාදය හමාරව තාජුඩීන් පිටව ඇති අතර ඔහු ලුහුබැඳ මරණය පැමිණ තිබේ.
ඒ බව ඉව වැටුණු තාජුඩීන් සුපිරි වෙළෙඳසැලක රථය නවතා වතුර බෝතලයක් මිලට ගෙනද තිබේ. කජ්ජා නමැති අය ඝාතකයන් හා එක්වන්නේ මේ අවස්ථාවේ බවද කියැවේ.
කෙසේ වෙතත්, සිදු වූ ක්‍රියාදාමය තවම හෙළිව නැත.
පළමුව මෙම මරණය ස්වාභාවික එකක් බව කියන්නට සියල්ලෝ පෙළ ගැසුණෝ ය. අධිකරණ වෛද්‍ය නිලධාරියා පවා වැඩේ යට ගැසුවේ ය. දෙවැනි මරණ පරීක්ෂණයක් එන්නේ ඉන් පසුවයි.
එහිදී විස්මයජනක කරුණු අනාවරණය විය. වසීම්ගේ මරණය සම්බන්ධ රිය අනතුරක සලකුණුවලට වඩා තිබුණේ වෙනත් සලකුණු ය. තාජුඩීන් හිඳ තිබුණේ රියදුරු අසුනේ නොව අනික් අසුනේ ය. ඔහුගේ සිරුරේ තිබු සියලු තුවාළ මොට ආයුදවලින් පහරදීම නිසා සිදුවූ අස්ථි බිඳීම් බව හෙළි විය. ලිංග ප්‍රදේශයට බරපතළ හානි සිදු කර තිබු බවද කියැවේ. මුඛයේ දත් තුනක් කැඩී තිබුණ බවද, එහි කොටස් රථයේ නොතිබු බවද අනාවරණය විය. අනතුරින් පසුව රථය ගිනි ගැනීම නිසා මරණය සිදු වී නම් තාජුඩින්ගේ පෙනහළු වල කාබන් මොනොක්සයිඩ් තිබිය යුතු වුවද ඒවා පිරිසිදු විය. එයින්ද සැක ඇති වූයේ මරණය සිදු වූයේ වෙන තැනක යන්නටයි.