හත්හැවිරිදි සිය දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබා දෙන සහනාධාර මුදල ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ හිලව්වට ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ ඇතිව වසර 20 සිරදඬුවමක් නියම කරනු ලැබීය.
මෙම දඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවටත් විත්තිකරුගේ ඡන්ද ප්‍රකාශන අයිතිය ඇතුළු සියලු සිවිල් අයිතිය අහිමි වන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දන්වන ලෙසද තීන්දුවේ දැක්වේ.
දරුවකු නිසා අසරණ වූ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ද විනිසුරුවරයා සඳහන් කර ඇත.
මෙම සිදුවීම මෙයට වසර 10කට පෙර එනම් 2015 වසරේදී සිදු වූවකි. වකුගඩු ආබාධයකින් පෙළෙන සිය හත්හැවිරිදි දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා රජයෙන් ලබා දෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීමට 30 වියැති එම දරුවාගේ මවගෙන් අල්ලස් ඉල්ලා ඇයව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයක් වෙත රැගෙන ගිය අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වරදකරු වූ නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබීය.