/ Dec 06, 2025

ආපදා අරමුදලට විපක්ෂයෙන් බාල්දියක්?

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් රටම දැඩි ව්‍යසනයකට මුහුණ දී සිටින අතර එම ව්‍යසනයෙන් රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය විසින් Rebuilding Sri Lanka ලෙස අරමුදලක් ගොඩනගා තිබේ.

ඒ අනුව මේ වන විට එයට දෙස් විදෙස් සෑම අංශයකින්ම ආධාර ලැබෙමින් පවතින බවද රජය විටින් විට එහි තොරතුරු යාවත්කාලීන කරමින් පවසයි.

මේ අතර අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මෙම අරමුදලේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් මතුකරන ලදී.

ඔහු පෙන්වා දෙන්නේ මෙම අරමුදල හැසිරවීම ජාවාරම්කාරයින් අතට පත්ව ඇති බවයි.

”ප්‍රයිවට් සෙක්ටර් එකේ අය ඩිසාස්ටර් අරමුදලක ප්‍රධානීන් හැටියට දාන්න, අපිට පොඩි සැකයක් තියෙනවා ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරන්න යනවද කියල. ආපදා කළමනාකරණය පුද්ගලීකරණය කරන්න යනවද කියන ප්‍රශ්නයක් තියෙනවා දැන්. ව්‍යාපාරිකයින්ට සල්ලි හොයල දෙන්න පුළුවන්. හැබැයි මේ අරමුදල තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඕවර්සයිට් එක යටතේ. පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නැහැ. අනුර කුමාර ජනාධිපතිතුමා 2022 විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා කෝට් කරනවා ආපදා කළමනාකරණ පනත යටතේ 17 වෙනි වගන්තියේ තියෙනවා, එතුමාම කියනවා ඒකාබද්ධ අරමුදලෙන් ව්‍යසනයකට වියදම් කරන්න මුදල් සභාවේ අරමුදලක් හරහා වියදම කරන්න පුළුවන්. එතකොට ඒක ජාවාරම් කරන්න බැහැ. එතුමා එදා එහෙම කිව්වට අද ජාවාරම්කාරයින්ටම භාර දීලා තියෙනවා. මේක කොහොමද වෙන්නේ” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් එම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවා ඇති අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

සෙසු සාමාජිකයන් ලෙස,

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න

හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ

ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්

එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක

බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්

LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරු කටයුතු කරති.

මෙම අරමුදල හැසිරවීම වෙනුවෙන් පය්ද්ගලික අංශයෙන් පත්ව සිටින පුද්ගලයින් රට තුළ ඉහළ පිළිගැනීමක පසුවන ව්‍යාපාර හා මූල්‍යකරණයට අදාළව විශේෂඥභාවයක් පවතින තැනැත්තන්ය.

තවත් පැත්තකින් අංක එකේ ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින්ය.

අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතර වෙයි.

රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබෙන්නේද මේ අසීරු මොහොතේ රාජයා කෙරෙහි විශ්වාසය තබන ලෙසය.

Rebuilding Sri Lanka අරමුදල මෙසේ ගොඩනගා ඇති මොහොතක විපක්ෂය විසින් නගන චෝදනාවද සුළු පටු නොවේ. කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසන පරිදි මෙම අරමුදල හසුරුවන සාමාජිකයින් අතර ජාවාරම්කරුවන් වෙයි.

වගකිව යුතු විපක්ෂයක් ලෙස මෙවැනි චෝදනාවක් කරන විට හතර මායිම් පැහැදිලිව කිව යුතු නොවන්නේද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top