/ Jun 01, 2025

හෝ මාමාගේ 135 වැනි ජන්ම දිනය!

2025 මැයි 19 වන දින, ශ්‍රේෂ්ඨ වියට්නාම නායක “හෝ චි මිං” ගේ 135 වන උපන්දිනය ඊයෙ (19) ස්මරණය කරනු ලැබීය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වියට්නාම නිදහස සඳහා විවෘත තරුණ හඬක් ලෙස හෝ චි මිං මුලින්ම මතු විය. බොල්ෂෙවික් විප්ලවයෙන් ආභාෂය ලැබූ ඔහු  “හෝ මාමා” ලෙසද හඳුන්වනු ලැබීය.

1890 දී මධ්‍යම වියට්නාමයේ උපත ලැබූ හෝ චි මිං, 1920 දී නව ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට බැඳුණු අතර වසර තුනකට පසු මොස්කව් බලා ගියේය. ඔහු ඉක්මනින්ම වියට්නාම ජාතිකවාදී ව්‍යාපාරයකට සාමාජිකයින් බඳවා ගැනීම ආරම්භ කළ අතර 1930 දී හොංකොං හි ආරම්භ කරන ලද “ඉන්දුචීන කොමියුනිස්ට් පක්ෂය”ට මූලික විය. 1940 දෙවන ලෝක යුධසමයේදී, ප්‍රංශ පරාජය හමුවේ, එය වියට්නාම ජාතිකවාදී අරමුණු සඳහා අවස්ථාවක් ලෙස දුටුවේය.1941 ජනවාරි මාසයේදී වියට්නාමයට ආපසු ගොස් “වියට් මිං” හෙවත් වියට්නාමයේ නිදහස සඳහා වූ ජාතිකවාදී සන්ධානය සංවිධානය කළේය. නව සංවිධානය සඳහා චීනයේ සහාය පැතීමට කටයුතු කළ හෝ චි මිංව, චීනයේ චියැං කායි-ෂෙක්ගේ කොමියුනිස්ට් විරෝධී රජය විසින් මාස 18 ක් සිරගත කරන ලදී. නමුත්, ප්‍රංශ හමුදා සයිගොන් ඇතුළු දකුණු වියට්නාමයේ පාලනය ලබා ගත් අවස්ථවේදී, මිත්‍ර පාක්ෂික ගිවිසුමෙහි නියමයන්ට අනුව චියැං කායි-ෂෙක්ගේ චීන හමුදා උතුරට සංක්‍රමණය විය. චීනය ඉවත්වීමත් මෙන්ම වියට්නාමයේ නිදහස, උතුරු සහ දකුණු වියට්නාමය නැවත එක් කිරීම සඳහා අවසානයේ ප්‍රංශ පිළිගැනීමක් ලබා ගැනීමේ උත්සාහයක් ලෙස ප්‍රංශ ජාතිකයන් සමඟ සාකච්ඡා ආරම්භ කළේය. නමුත් 1946 ඔක්තෝම්බර් මාසයේදී, ප්‍රංශ සහ වියට්නාම සොල්දාදුවන් අතර ගැටුමකින් පසු ප්‍රංශ කෲසර් නෞකාවක් ‘හයිෆොන්ග්’ නගරයට පහරදුන්නේය. සාමය පවත්වා ගැනීම සඳහා වූ හෝ චි මිංගේ උපරිම උත්සාහයන්ද නොතකා, ඔහුගේ වඩාත් සටන්කාමී අනුගාමිකයින් යුද්ධයක් ඉල්ලා සිටි අතර, දෙසැම්බර් මාසයේදී එය ආරම්භ විය.

පළමු ඉන්දුචීන යුද්ධය අතරතුර, ප්‍රංශ ජාතිකයන් තම රූකඩ පාලකයෙක් වූ බාඕ ඩයි නැවත බලයට පත් කර 1949 ජූලි මාසයේදී වියට්නාම් රාජ්‍යය (දකුණු වියට්නාමය) පිහිටුවන ලද අතර “සයිගොන්” එහි අගනුවර විය. “ඩියන් බියන් ෆු” හි තීරණාත්මක සටනකින් වියට් මිං හමුදා විසින් ප්‍රංශ හමුදා පරාජය කර අවසන් වන තෙක්, රාජ්‍ය දෙක අතර සන්නද්ධ ගැටුම දිගටම පැවතුණි. 1954 අප්‍රේල් මාසයේදී හෝ චි මිං ගොවි විමුක්ති හමුදාවට අණ දුන්නේය. ඩියන් බියන් ෆු හි ප්‍රංශ හමුදාවන් වැටලීම සඳහා, ගමන් කළ නොහැකි බව පෙනෙන දුෂ්කර වනාන්තර සහ කඳුකර භූමි හරහා, අතිශයින් බර ගුවන් යානානාශක තුවක්කු, මෝටාර් වැනි දෑ රැගෙන ගියහ.

ඉන්දුචීනයේ දී, ඇමරිකාව ප්‍රංශයට තම සහයෝගය ශක්තිමත් කිරීමට තීරණය කළේය. ඒ අග්නිදිග ආසියාව (ඉන්දුචීනය) කොමියුනිස්ට් ආධිපත්‍යයට හෝ කොමියුනිස්ට් බලපෑමට යටත් වීමේ බිය හේතුවෙනි. එදා යටත් විජිතවාදීන් බලයේ තබා ගැනීම සඳහා, ප්‍රංශ යුධ වියදමෙන්  වැඩි කොටසක් ඇමරිකාව ගෙවමින් සිටියේය. 1953 අගෝස්තු මාසයේදී ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් කියා සිටියේ, “එක්සත් ජනපදය එම යුද්ධයට සහාය වීම සඳහා ඩොලර් මිලියන 400 ක් දෙනවිට, අග්නිදිග ආසියාවෙන් අපට අවශ්‍ය ඇතැම් දේවල් ලබා ගැනීමේ හැකියාවට හා  වඩාත්ම භයානක වැදගත්කමක් ඇති දෙයක් සිදුවීම වැළැක්වීමට අපට හැකි ලාභම ක්‍රමයට අපි සහය දෙමු” යනුවෙනි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජේ.එෆ්. ඩලස්, 1954 අප්‍රේල් 30 වන දින ජනාධිපති අයිසන්හවර් සමඟ පරමාණු බෝම්බ භාවිතා කිරීමට ඇති ඉඩකඩ පිළිබඳවද සාකච්ඡා කළේය. ප්‍රංශ නිලධාරීන් වාර්තා කළේ, ලේකම් ඩලස් සතියකට පෙර ඔවුන්ට පරමාණු බෝම්බ දෙකක් ලබා දුන් බවයි. අයිසන්හවර් සහ ඩලස් පසුව එවැනි වාර්තා මතභේදයට ලක් කළ නමුත්, පරමාණු බෝම්බ භාවිතය නිසැකවම එවකට එක්සත් ජනපද ප්‍රතිපත්තියට අනුකූල වනු ඇතැයි විශ්වාස කළ හැක. නමුත්, “සැතපුම් ගණනක් ප්‍රදේශය විනාශ කළ හැකි සහ බොහෝ විට “ඩියන් බියන් ෆු” විනාශ කළ හැකි ආයුධ භාවිතා කිරීමට අපි කැමති වූයේ නැත” යනුවෙන් ජනාධිපති අයිසන්හවර් ප්‍රකාශ කළේය. වාර්තා පෙන්නුම් කරන්නේ, ඔවුන් නැවතත් ප්‍රංශ ජාතිකයින්ට “නව ආයුධ” කිහිපයක් ලබා දීමට සලකා බැලූ බවයි. වසර ගණනාවකට පසු, අයිසන්හවර්ගේ මතකය බෙහෙවින් වෙනස් විය. ඔහු තම චරිතාපදාන රචක ස්ටීවන් ඇම්බ්‍රෝස්ගේ, ජපානයට මෙන් වියට්නාමයට පරමාණු බෝම්බ යෙදවීමට කළ උත්සාහය ගැන නගන ලද ප්‍රශ්නයකට පිලිතුරු දුන්නේ, “ඔයාලා පිස්සු වැටිලා ඇති. අවුරුදු දහයකටත් අඩු කාලයකදී අපට දෙවන වරටත් ආසියානුවන්ට එරෙහිව ඒ භයානක දේවල් භාවිතා කළ නොහැකියි. මගේ දෙවියනේ…” යනුවෙනි.

ඒ යුගයේදී සමහර ඇමරිකානු සෙනෙට් සභික දේශපාලනඥයින් ප්‍රකාශ කළේ, “ඉන්දුචීනයේ ඇමරිකානු මිලිටරි ආධාර කොතරම් තිබුණත්, සෑම තැනකම සහ ඒ සමඟම කොතැනකවත් නැති, ජනතාවගේ අනුකම්පාව සහ රහසිගත සහයෝගය ඇති, අපි හඳුන්වන ‘ජනතා සතුරෙකු’ පරාජය කළ නොහැකි” බවත්, “ආසියාවේ යටත් විජිතවාදය සහ සුදු මිනිසාගේ සූරාකෑම දිගටම කරගෙන යාමට, ලේ වැගිරීමක් සඳහා ඇමරිකානු හමුදා ඉන්දුචීනයේ මඩගොහොරුවට යැවීමට විරුද්ධ” බවත්ය.

කෙසේ වෙතත්, ප්‍රංශ බලකොටුව බිඳ වැටුණි. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, සෝවියට් සංගමය සහ චීනය යන රටවල නියෝජිතයන් ජිනීවාහිදී හමුවිය. රාජ්‍ය ලේකම් ඩලස් තම අප්‍රසාදය ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් කාලයක් යොදාගත්තේය. ඔහු චීන විදේශ අමාත්‍ය ෂෝ එන්ලායි සමඟ අතට අත දීම හෝ කිසිදු කොමියුනිස්ට් නියෝජිතයෙකු අසල වාඩි වීම ප්‍රතික්ෂේප කළ අතර, යෝජනා කරන ලද සෑම දෙයකටම විරුද්ධ විය.

වියට් මිං හමුදා රටෙන් වැඩි කොටසක් පාලනය කළ අතර, ඔවුන් සියලු තැන් පාලනය කිරීමට සුදුසු යැයි විශ්වාස කළද, වියට් මිං සාකච්ඡාකරුවන් “සෝවියට් සහ චීන” පීඩනයට යටත් වූ අතර ඔවුන්ගේ රටපුරා අත්පත් කර ගැනීම් කෙටිකලකට කල් දමා, ප්‍රංශයට තමන්ගේ මුහුණ බේරා ගැනීමට ඉඩ සලසන යෝජනාව පිළිගත්තේය. වියට්නාමය තාවකාලිකව බෙදීමට දෙපාර්ශ්වය එකඟ විය. හෝ චි මිංගේ හමුදා උතුරට සේන්දු වූ අතර ප්‍රංශ සහාය ලත් හමුදා දකුණට පසුබැස ගියේය. අවසාන ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වූයේ, “හමුදා සීමා නිර්ණය රේඛාව තාවකාලික වන අතර එය දේශපාලන හෝ භෞමික සීමාවක් ලෙස කිසිදු ආකාරයකින් අර්ථ නිරූපණය නොකළ යුතුය” යනුවෙනි. ගිවිසුමේ කිසිදු පාර්ශ්වයක් තම භූමියේ විදේශීය කඳවුරු බැඳීමට හෝ හමුදා සන්ධානයක් හැදීමට ඉඩ නොදිය යුතු බවට ද නියම කරගෙන ඇත.

 ප්‍රංශ හමුදා රට හැර යාමට සූදානම් වන විට, ඇමරිකානු ආධාරකරුවන් වියට්නාමයේ ඇමරිකානු බලය පිහිටුවා ගත්හ.

වියට් මිං රජය මෙය බොහෝ දුරට පිළිගත්තේ, රට එක්සත් කිරීම සඳහා 1956 ජූලි මාසයේදී ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබූ බැවිනි. ඇමරිකාව ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීමට බාධා නොකරන බවට පොරොන්දු විය. නමුත් ඇත්ත වශයෙන්ම එම පොරොන්දුව වචන පමණක් සීමා විය.

ඇමරිකානු සහාය ඇතිව, ජිනීවා ගිවිසුමේ වැදගත්ම විධිවිධානයන් උඩු යටිකුරු කරමින්, ජාතියේ පාලනය කොමියුනිස්ට්වාදීන්ට පැවරීමට ඉඩ තිබූ 1956 මැතිවරණය අවලංගු කළේය. ජනාධිපති අයිසන්හවර් පසුව අදහස් දක්වමින්, “සටන් කාලය වන විට මැතිවරණ පවත්වා ඇත්නම්, ජනගහනයෙන් සියයට 80 ක් රාජ්‍යනායක බාඕ ඩයි වෙනුවට කොමියුනිස්ට් හෝ චි මිං ඔවුන්ගේ නායකයා ලෙස ඡන්දය දෙනු ඇතැයි එකඟ නොවූ ඉන්දු-චීන කටයුතු පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙකු සමඟ මම කිසි විටෙකත් කතා කර හෝ ලිපි හුවමාරු කර ගෙන නැත.” යි කියා සිටියේය. සටන් ඉක්මනින්ම නැවත ආරම්භ විය.

ජාත්‍යන්තර ප්‍රජාව කම්පනයට පත් විය. බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රික පෝල්-හෙන්රි ස්පාක් අනතුරු ඇඟවූයේ, “ජනාධිපතිවරයාගේ කතාවේ අදහස – ඇමරිකාව සාමකාමී අරමුණු සඳහා පරමාණුක ශක්තිය භාවිතා කිරීමට කැමති බවට අදහස, නැවත පණ ගැන්වීමට යමක් නොකළහොත්, ඇමරිකාව යුරෝපයේ ම්ලේච්ඡත්වය සහ භීෂණය සමඟ සමාන වනු ඇත.” කියමිනි. ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු ප්‍රසිද්ධියේ පැවසුවේ “ඇමරිකා එක්සත් ජනපද නායකයින් “භයානක ආත්මාර්ථකාමී උන්මත්තකයන්” බවත්, ඔවුන් ඔවුන්ගේ ප්‍රතිපත්තියට බාධා කරන ඕනෑම ජනතාවක් හෝ රටක් පුපුරුවා හරින” බවත්ය.

“හෝ චි මිං” නමින් නම් කරන ලද, උතුරු වියට්නාමයේ සිට (ලාඕසය සහ කාම්බෝජය හරහා) දකුණු වියට්නාමයේ ආධාරකරුවන්ට සැපයුම් යැවීම සඳහා වියට් මිං විසින් භාවිතා කරන ලද හමුදා සැපයුම් මාර්ගයක් තිබිණ. යුද්ධයෙහි උච්චතම අවස්ථාවේදී, සෑම දිනකම ටොන් කිහිපයක් සැපයුම්, ආයුධ සහ පතොරම් ඒ හරහා යවන ලදී. 1960 ගණන්වලදී, එම රටවල් ඇමරිකානු බෝම්බ සඳහා පොදු ඉලක්කයක් විය.

හෝ චි මිං උතුරු වියට්නාමයේ රාජ්‍ය නායකයා ලෙස රැඳී සිටියද , තිරය පිටුපස භූමිකාවක් රඟ දැක්වීය. ඔහුගේ ජනතාවට, “හෝ මාමා” වියට්නාමයේ එක්සත්කමේ වැදගත් සංකේතයක් ලෙස ද පිළිගැනුණි. මේ අතර, එක්සත් ජනපදය දකුණු වියට්නාමයට සහයෝගය වැඩි කරමින් ආර්ථික ආධාර යවමින් නොනැවතී. 1961 දෙසැම්බර් මාසයේ සිට හමුදා භටයන් යැවීය. උතුරු වියට්නාමයට එරෙහි ඇමරිකානු ගුවන් ප්‍රහාර 1965 දී ආරම්භ වූ අතර, 1966 ජූලි මාසයේදී, හෝ චි මිං “වියට්නාමයේ හදවතට නිදහස සහ විමුක්තිය තරම් ආදරණීය දෙයක් තවත් නැත” යන පණිවිඩය රටේ ජනතාවට යැවීය. මෙය උතුරු වියට්නාම සටනෙහි ආදර්ශ පාඨය බවට පත්විය.

නව ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ලින්ඩන් ජොන්සන් යුද්ධය උත්සන්න වීම නැවැත්වීමට තීරණය කළ අතර සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේය. 1967 පෙබරවාරි මාසයේදී, ඇමරිකානු ජනාධිපති ලින්ඩන් ජොන්සන්ගේ පෞද්ගලික පණිවිඩයකට හෝ චි මිං ප්‍රතිචාර දැක්වූයේ බෝම්බ හෙලීමේ තර්ජනය යටතේ උතුරු වියට්නාමය කිසි විටෙකත් සාකච්ඡා නොකරන බව නිවේදනය කරමිනි.

1969 සැප්තැම්බර් 2 වන දින, වයස අවුරුදු 79 ක්ව සිටියදී, හෝ චි මිං හැනෝයිහිදී මිය යන විටත් යුධගැටුම් පැවතුණි. අවසානයේ, පරාජිත ඇමරිකා එක්සත් ජනපද හමුදා 1973 මාර්තු මාසයේදී වියට්නාමයෙන් පිටත්ව ගියහ.

ඇමරිකානු අවසාන හෙලිකොප්ටර්වල පිටවීම සඳහා පිරිමින්, කාන්තාවන් සහ ළමයින් පොරබදමින් සිටියදී වීදිවල ඇති වූ අවුල්සහගත තත්ත්වය පිළිබඳ වාර්තා සහ ඡායාරූප ලොව පුරා විකාශනය විය.

1975 අප්‍රේල් මස 30 වන දින, දකුණු වියට්නාමයේ මෙතෙක් රැඳී සිටි අවසන් ඇමරිකානුවන් කිහිප දෙනා ගුවන් මගින් රටින් පිටතට ගෙන යන ලදී, “සයිගොන්” කොමියුනිස්ට් හමුදාවන්ට යටත් වීමත් සමඟම, දකුණු වියට්නාමයේ යටත් වීම පිළිගත් උතුරු වියට්නාම කර්නල් බුයි ටින්, “ඔබට බිය වීමට කිසිවක් නැත, වියට්නාම ජනතාව අතර ජයග්‍රාහකයින් සහ පරාජිතයින් නොමැත. පරාජය වී ඇත්තේ ඇමරිකානුවන් පමණි” යනුවෙන් සඳහන් කළේය. එදිනම, සයිගොන් නගරය “හෝ චි මිං නගරය” ලෙස නම් කරන ලදී.

වියට්නාම් යුද්ධය ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම සහ වඩාත්ම අප්‍රසාදයට ලක් වූ විදේශීය යුද්ධය වූ අතර වියට්නාම් ජනතාව බරපතළ යුධ අපරාධවලට ගොදුරු වූ බවට ජීවමාන සාක්ෂි බොහොමයක් පවතී. මෙම යුද්ධයෙන්,  ඇමරිකානු ජීවිත 58,000 ක් අහිමි වූ අතර වියට්නාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන් මිලියන දෙකක් පමණ මිය ගියහ.

ප්‍රථමයෙන් ප්‍රංශය සහ පසුව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ආක්‍රමණික අධිරාජ්‍යවාදීන්ගේ බලය පරාජය කර, දකුණු වියට්නාමයේ දැඩි කොමියුනිස්ට් විරෝධී පාලනය සහ එහි බලගතු යුධවාදියා වූ ඇමරිකාව සමඟ දිර්ඝ හා අහිමිවීම් අධික, බරපතළ ගැටුමක ජයග්‍රහණයෙන්, රට එක්සත් කළ වියට්නාම්  අරගලයේ සංකේතයක් බවට හෝ චී මිං පත්වේ.

අවසානයේ 1975 අප්‍රේල් 30 වන දින [වසර 50 කට පෙර] වියට්නාමය යටත්විජිතවාදයෙන් මුදා ගත් මහජන ව්‍යාපාරයක් සහ හමුදාවක් ගොඩනඟා මෙහෙයවූ මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට්වාදියෙක් ලෙස හෝ චි මිං හැඳින්වීය.

අද ගෝලීය දකුණේ ආර්ථික වශයෙන් නැගීඑන ශක්තිමත් රාජ්‍යයක් වන වියට්නාමයේ ජයග්‍රහණයන්හී මහා සෙවණැල්ල හෝ චි මිං ය.  දෙවන ලෝක යුද්ධය අවසානයේ වියට් මිං හමුදා උතුරු වියට්නාම නගරයක් වන හැනෝයි අල්ලාගෙන එහි ජනාධිපති ලෙස වියට්නාම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ( උතුරු වියට්නාමය) ප්‍රකාශයට පත් අතර ඔහු 1945 සිට 1969 දී මිය යන තෙක් උතුරු වියට්නාම ජනාධිපතිවරයා විය.

“වියට්නාමය යනු තුන්වන ලෝකයේ සියලුම ජාතීන්ගේ අරගලයයි – අධිරාජ්‍යවාදයට, යටත් විජිතවාදයට සහ නව යටත් විජිතවාදයට එරෙහි අරගලයයි” යනුවෙන් සඳහන් කළ “මැල්කම් එක්ස්”, ගෝලීය අරගලයට “හෝ චි මිං” විසින් දුන් නායකත්වය ජාතික විමුක්ති අරගලයේ කේන්ද්‍රය වූ බව පිළිගත්තේය. (“මැල්කම් එක්ස්” (1925 මැයි 19 – 1965 පෙබරවාරි 21), අප්‍රිකානු-ඇමරිකානු විප්ලවවාදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ අතර 1965 දී ඝාතනය වන තෙක් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය තුළ කැපී පෙනෙන චරිතයක් විය.)

1924 දී මොස්කව්හි පැවති කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පස්වන සම්මේලනයේදී “ජාතික සහ යටත් විජිත ප්‍රශ්නය” පිළිබඳ සාකච්ඡාවකදී කතාවක් කළ හෝ චි මිං, ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික විමුක්ති අරගලයට සහාය දීමේ වැදගත්කම අවධාරණය කිරීම අමතක කළයුතු නැත.

ඔහු මෙසේ පැවසීය: “කළු ජාතිය, මිනිස් පවුලේ වඩාත්ම පීඩිත හා සූරාකෑමට ලක් වූ ජාතිය බව ප්‍රසිද්ධයි. ධනවාදයේ ව්‍යාප්තිය සහ ‘නව ලෝකය’ සොයා ගැනීමේ ක්ෂණික ප්‍රතිඵලයක් ලෙස, වහල්භාවයේ නැවත ඉපදීමක් ඇති කළ බව ප්‍රසිද්ධයි. … ඊනියා විමුක්තියෙන් වසර 65 කට පසුවත්, [ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන්] තවමත් දරුණු සදාචාරාත්මක හා ද්‍රව්‍යමය දුක් වේදනා විඳදරාගන්නා බව සෑම දෙනාම නොදන්නවා විය හැකිය” (විප්ලවය පිළිබඳ හෝ චි මිං, තෝරාගත් ලේඛන, 1920-1966)

වියට්නාම ජනතාවට පමණක් නොව, ලොව පුරා සිටින කම්කරුවන්ට සහ පීඩිත ජනතාවටත් වීරයෙක් වූ මෙම විශිෂ්ඨ ජාත්‍යන්තරවාදියාට සහ ජනතා වීරයාට ලෝක ජනතාවද ආචාරය පුදකරයි .

ජයන්ත වැලිවිට

(දේශපාලනආර්ථික විමර්ශකයෙකිඔහු මොස්කව්හී පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේආර්ථික විද්‍යාව පිලිබඳ පාශ්චාත් උපාධිධාරියෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top