ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා නිවේදනය කර තිබේ.
එම අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවයි.
එමෙන්ම ඕනෑම වියදමක් දරා පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාතිය සිය අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා වැඩිදුරටත් පැවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය අඟහරුවාදා ඉන්දීය ජම්මු කාෂ්මීරයේ පෙහෙල්ගාම්හී සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද මේ වනවිට අවි ගැටුමක් දක්වා තීව්‍ර වී තිබේ.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් නේපාල ජාතිකයෙකු ද ඇතුළුව 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.