ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙන නායේ යාමේ රතු නිවේදන අනුව අවදානම ප්‍රදේශවල ජනතාව එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව රතු නිවේදන නිකුත් කර තිබෙන මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවත් වෙන පිරිස් එම ස්ථානවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇත.
එම අවදානම් ස්ථානවල සිටින ජනතාව දෙසැම්බර් මස 9 වනදින සිට 19 වන දින දක්වා කාලය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ.
මෙහිදී දිස්ත්‍රික් ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, ශ්‍රී ලංකා පොලීසිය හා වෙනත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණෙයන් මෙම ඉවත්කිරීමේ කටයුතු සිදුකරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
ඒ අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ප්‍රදේශ පහතින් දැක්වේ.
මහනුවර දිස්ත්‍රික්කය
හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ
කුරුණෑගල දිස්ත්‍රික්ක
මාවතගම, මල්ලවපිටිය, රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය
නාඋල, විල්ගමුව, පල්ලෙපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලෙගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් අද (09) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර මෙම වැසි තත්ත්වය ලබන 19 වන දින දක්වා පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.






