/ Mar 04, 2026

ඉන්ධන හොර වෙළඳාමට එරෙහිව පොලිසිය වැඩට බසී!

මැදපෙරදිග ගැටුම් තත්ත්වය හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට භීතිකාමය මිලට ගැනීම් සිදුවීම බලපාන බව පෙනී යයි. කෙසේ වෙතත් නීතිවිරෝධී ඉන්ධන අලෙවියට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. රට පුරා වැටලීම් හා පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් කළු කඩ වෙළඳාම මැඩපැවැත්වීම සහ මහජන සාමය පවත්වා ගැනීම අරමුණු කරගෙන මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඒ අනුව, බලපත්‍රයකින් තොරව ඩීසල් ඉහළ මිලකට අලෙවි කළ බවට චෝදනා කරමින් පුල්මුඩ්ඩේ නගරයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාර්තු 03 වන දින රාත්‍රියේ පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලැබුණු තොරතුරක් මත එම වෙළඳසැල වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. එහිදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 390 ක්ද පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පුල්මුඩ්ඩේ අර්පත් නගර් ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මාර්තු 04 වන දින කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

බලපත්‍ර රහිතව ඩීසල් ලීටර් 1,000 ක් අලෙවි කිරීම සහ තවත් ලීටර් 412 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 10,000 ක දඩයක් නියම කර තිබේ. අදාළ ඩීසල් තොගය රාජසන්තක කිරීමටද නියෝග කර ඇත.

මෙම වැටලීම මල්වතුහිරිපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සිදුකර ඇති අතර, රට තුළ ඉන්ධන හිඟය මධ්‍යයේ කෑන්වලින් ඉන්ධන මිලදීගෙන ඉහළ මිලකට නැවත අලෙවි කරන බවට චෝදනා එල්ල වී තිබුණි. බලධාරීන් පෙන්වා දෙන්නේ, ඉන්ධන සම්බන්ධ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව ඉදිරියටත් දැඩි පියවර ගන්නා බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top