ඉන්දියානු සාගරයේදී ඉරාන IRIS Dena යුද නෞකාවට ඇමරිකාව විසින් එල්ල කළ ප්‍රහාරය මේ වන විට ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රබල කතාබහක් ඇති කර තිබේ. ලෝක දේශපාලනයේ දී ඉන්දියාවේ ස්ථාවරය මේ නිසාවෙන් හෙල්ලුම් කා ඇති බව විචාරකයෝ මත පළ කරති.
IRIS Dena නෞකාව ප්‍රහාරයට ලක් වූයේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ නාවුක සැතැපුම් 41කට පමණ ආසන්නයේදීය. ආසන්න වශයෙන් එය කිලෝමීටර් 80ක පමණ දුරකි. එය පැමිණ තිබුණේත් 2026 මාර්තු 4 වනදා, ඉන්දියාවේ පැවැති ‘මිලාන්’ (Milan) නාවික අභ්‍යාසයට සහභාගී වීමටයි. මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාවට වඩා වගකීමක් ඇත්තේ එසේ හෙයිනි. අනෙක් අතට ඉන්දියාව පෙනී සිටින්නේ ඉන්දියානු සාගරයේ ආරක්ෂකයා ලෙසිනි. මෙම සිදුවීම විසින් උභතෝකෝටියක් නිර්මාණය කර ඇති බව පැහැදිලි ය.
ජාත්‍යන්තර දේශපාලන විචාරක මතයට අනුව, මෙම ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරය ගැන ඉන්දියාව දැන සිටියේ නම් එය තමන් සමඟම යුද අභ්‍යාසයට සහභාගි වූ රටකට කළ බරපතළ වංචාවකි. එසේම ඍජුව ඇමරිකා-ඊශ්‍රායෙල හවුල වෙත සහය පළ කිරීමකි.
එසේ ම ඉන්දියාව මෙම ප්‍රහාරය නොදැන සිටියේ නම් ඉන්දීය සාගරයේ ආරක්ෂකයා ලෙස පම්පෝරි ඇදබාන ඉන්දියාවේ ආරක්ෂක උපායමාර්ග සැලසුම් නැවත නැවත ප්‍රශ්න කරන්නකි.
ඉන්දීය නායකයා මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර ඊශ්‍රායෙලයේ කළ සංචාරයත්, තම රට සමඟම යුද අභ්‍යාසයට සහභාගි වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයන් විශාල පිරිසක් අතුරුදන් වූ පසු ශෝකය පළ කිරීමක්වත් ඉන්දියාවෙන් සිදු වූයේ නැත. ඉන්දීය විපක්ෂ නායකවරයා නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා වෙත චෝදනා කළේ ඉන්දියාව මෙතෙක් කල් ජාතික අවශ්‍යතා මත පදනම්ව රැකගෙන ආ විදේශ ප්‍රතිපත්තිය විනාශ කර දැමූ බව කියමිනි.
පැහැදිලිව ම ඉන්දියාව ඇමරිකා – ඊශ්‍රායෙල් ගැති විදේශ ප්‍රතිපත්තියක් මේ වන විට පෙන්නුම් කරන බව පැහැදිලි ය. එසේ ම ඉන්දීය සාගරයේ ආරක්ෂකයා යනුවෙන් වන ඉන්දීය පම්පෝරියද ට්‍රම්ප් විසින් මෝදිගේ රෙද්ද ඉන්දියන් සාගරයේදී කැඩීමෙන් මුහුදේම ගිලී ගියේ ය.
ඒ අතර යුද බලයෙන් ද ආර්ථික බලයෙන් ද අතිශය ක්ෂුද්‍ර තැනක සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මානුෂීයත්වයේ මහිමය ලොවටම පෙන්වාලූයේ ය. ඒ ආධාර ඉල්ලා සිටි තවත් ඉරාන නෞකාවක් වූ IRIS Bushehr මෙරටට ගෙන ඒමටත් එහි නාවිකයන් ගලවා ගැනීමටත් ගත් පියවරයි.
මෙය ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඉන්දියාව පවා ඇමරිකානු – ඊශ්‍රායෙල අශුද්ධ සන්ධානයේ ගැතියෙකු වී හමාරය. ශ්‍රී ලංකාව සිටින්නේ යථාර්ථය පිළිගන්නේ නම්, ලෝක බලවත් තෝරු මෝරුන් අතර හාල්මැස්සෙක් තරම්වත් ශක්තියක නොවේ. මෙරට අශිෂ්ට තුප්පහි විපක්ෂ කණ්ඩායම් – වීරවංශ වැනි කෙළතොල්ලන් සහිත – කැස කවන්නේ ආණ්ඩුව බිත්තියට හේත්තු කර විනාශය කරා ගෙනයාමටය.
ආර්ථික බෙලහීන බවේ ගිලී සිටින, තවමත් ලෝක බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් දිවි ගෙවන නැගිටින්නට වෙර දරන රටක නායකයෙකුට මේ මොහොතේ අහක බලාගන්නට හොඳ හැටි ඉඩ තිබුණි. ජනතාව පවා චෝදනා නොකරන බව සහතිකය. එහෙත් වීරයන් යනු තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් පෙනී ඉන්නා ජාතියක් බව වාම මූලයක් සහිත ආණ්ඩුවක ජනපතිවරයා ලොවට පෙන්වා සිටියේය. සමහර විට මෙම තීන්දුව අඳුරු ඵලවිපාක ගෙනෙනු ඇති වුවත්, රාජ්‍යයකට, ජනතාවකට එතරම් අමානුෂික හෝ දීන විය නොහැකි බව මේ පියවර සාක්ෂාත් කර පෙන්වනු ඇති.
ඉන්දීය සාගරයේ ආරක්ෂකයාගේ රෙද්ද ට්‍රම්ප් කඩා දමද්දී අනුර විසින් ගත් මේ පියවර ඉතිහාසයේ ලියැවෙනු ඇති.
- සඳුන් ප්‍රියංකර විතානගේ





