/ Mar 01, 2026

ජනාධිපති ඓතිහාසික දළදා මාළිගාවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කතාබහක නිරත විය.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණි.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද පළ කළහ.

ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේද බැහැදැක සුව දුක් විමසීය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අස්ගිරි මහා නා හිමියෝ ජනතාවට වඩා යහපත්, රටක් ගොඩනඟාදීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ නව වසරේ නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කළහ.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

පසුගිය වසරේ සිදුවූ ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයේ අභියෝගයට මුහුණදීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු ප්‍රමුඛ අනු නායක හිමිවරු දැනුවත් කළ අතර එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේලා සිය ආශිර්වාදය පළකළහ.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top