/ Feb 19, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා ගැන අගමැති හෙළිකරයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගෙවනු ලබන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රශ්න කිරීම මත ඊට අදාළ තොරතුරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ප්‍රසිද්ධ කළාය.

ඒ අනුව මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54‍,285ක දීමනාවක් ගෙවනු ලබන අතර මාසික සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1,000 ක මුදලක් ගෙවන බව අගමැතිවරිය සඳහන් කළාය.

මාසික රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ද ගෙවන අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මඟින් රියදුරෙකු ලබාගතහොත්, එම මන්ත්‍රීවරයාට රියදුරු දීමනාවක් නොගෙවන බවයි ඇය පැවසුවේ.

දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක්,ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක්, කාර්යාල දීමනාව රුපියල් 100,000ක්, රැස්වීම් දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.

තවද පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක්ද ගෙවන බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

එමෙන්ම පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහාද දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.

එමෙන්ම එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය පදනම් කරගනිමින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙ‍ළෙඳපොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ද ගෙවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top