දිවියෙන් අඩක් පමණ සිය මාතෘභූමියෙන් බැහැරව විසුවද චිත්‍ර ශිල්පිනියක් ලෙස ඇය කමටහන් ලබන්නේ රුසියාවෙනි. ඇගේ සැබෑ ජීවිතය හා නිර්මිත සිතුවම් අතර එක්තරා ආකාරයකට අවියෝජනීය බැඳීමක් ඇතුවා මෙන්ම ඇගේ සැබෑ ජීවන ප්‍රකාශයන් ලෙසද එම සිතුවම් හැඳින්විය හැකිය.
1884 දී Zinaida උපත ලබන්නේ, Neskuchne හිදීය. ඉඩම් හිමි පැළැන්තියක මෙන්ම කලාත්මක පසුබිමක් සහිත පවුලක ඉපදෙන ඇය චිත්‍ර ශිල්පය නිසි පරිදි අධ්‍යයනය කරන්නේ පාරම්පරික උරුමයක් ද ලෙසිනි. නව සම්භාව්‍ය (neo classical) ක්‍රමය සිය තෙළි තුඩ ට හුරු කරගන්නා ඇය, සංකල්පීය වශයෙන් යම් වෙනස්කම් සිදුකරමින්, වර්ණ මගින් සිය කැන්වසය මත නවමු ආරක් නිමවන්නට උත්සාහ ගත්තීය.

1909 දී ‘At the dressing table ‘ ලෙස නම් කරන ලද මෙම සිතුවම , Zinaida ඇයවම මූර්තිමත් කිරීමකි. සාමාන්‍යයෙන් එවකට පැවැති චිත්‍ර කර්මයන් තුළින් ගැහැනිය මැවුණේ යම් අද්භූත,සමීප නොවන වස්තූන් ආකාරයකට මිස එදිනෙදා ජීවත්වන සජීවී ඌරුවකට නම් නොවේ. යටගවොමින් පමණක් සැරසුණ ගැහැනියක් සිය කෙස්කළඹ පීරීම වැනි අතිසාමාන්‍ය ඉරියව්වත්, ඇගේ රූමත් බවින් ආවරණය කෙරෙන එසේ පෙනී සිටීමේ ලැජ්ජාශීලී බවත් මෙම සිතුවම මගින් විවරණය කරන්නේ,චිත්‍ර ශිල්පය පිළිබඳ විවිධ ගුරු කුල තුළින් මුවහත් වූ Zinaida ගේ කලාත්මක බවේ ප්‍රතිභාවයි.
හුදු අනුකම්පාවට හෝ ගර්හිත බවට තැනක් නොදෙන ඇගේ කැන්වසයට මේ කාලසීමාව තුළදී අඳ ගොවි ලියන්ද ගොඩවේ. Peasant series ලෙස නම් වෙන එම සිතුවම් පෙළ තුලට Zinaida හිරු කිරණක උණුසුමත්, ශ්‍රමිකාවන්ගේ දෙතොල’ඟ මන්දස්මිතයත්, සොබාදමේ අස්පර්ශනීය චලිතයත් ඇතුළු කරන්නීය.

එමෙන්ම උණුසුම් ස්නානාගාර (sauna) හිදී කාන්තාවන්ගේ ලලාසාත්මක ඉරියව්, ඇය 1911- 1913 අතර නිම වූ bath series තුළින් පෙනේ. එය, ඇය විවේචනාත්මක තලයකට එසවූ සිතුවම් ලෙසද හැඳින්විය හැකිය දී
1917 දී සිදුවූ රුසියානු විප්ලවය ඇගේ සැබෑ ජීවිතයටද ගෙනාවේ තනිව සිදු කළ යුතු විප්ලවයකි. ඔවුන් සතු වතුයාය පවරා ගැනීමත් ,සිය ස්වාමිපුරුෂයාගේ අත්අඩංගුවට ගැනීමෙන් ඉනික්බිතිව සිදුවන ඔහු ගේ අභාවයත් නිසා, ඇයට රෝගාතුර මව හා දරුවන් සිව් දෙනෙකුගේ වගකීම නොසිතූ ලෙස පැවරේ.

1924 දී Zinaida සිය මව්බිම හැර දමා පැරීසියට පැමිණෙන්නේ දරුවන් දෙදෙනෙක් සමඟ පමණි. ඇය විසින් නිර්මිත ‘House of Cards’ නමැති මෙම සිතුවම ඇගේ දිවියේ ඛේදවාචකය සනිටුහන් කරයි. කාඩ්පත් රඳවන නිවසේ ආකෘතිය කඩා වැටෙන්නා සේම ඇගේ දිවියද එතෙක් රැඳි තිබූ සුවපහසු කලාපයෙන් අවතැන් වේ. තනි මවක් ලෙස ඇයට දරන්නට වන්නේ සාපේක්ෂව විශාල ජීවන බරකි.
නමුදු පැරිසිය, ඇගේ දිවියේ සුපහන් හැරවුම් ලක්ෂය සනිටුහන් කරන බවක් පෙනෙයි.
පැරිසියේදී සිතුවම් මගින් ජීවන බර යන්තමින් මෙන් සරිකර ගන්නා ඇය, ඉන් රුසියාවේ වෙසෙන සිය දරුවන්හටද විය පැහැදම් යවන්නීය. එවකට තිබූ නීතිවල දරදඬු බව නිසා ඇය නැවත ඔවුන් දකින්නේ සිය ජීවන ගමන අවසන් කිරීමට ආසන්න වසරකදීය.
එවකට 22 හැවිරිදි, Katya නම් සිය දියණිය සුවසේ සැතපෙන අයුරු ‘නිරුවතින් නිදන්නිය’ නැමැති මෙම සිතුවමේ තේමාව වෙයි.

එය සාම්‍ය වන්නේ වෙනිසියානු ගුරුකුලයේ නිර්මිත ‘නිදන වීනස්’ටය. එසේ සිතුවමට නගන්නට නිරුවතින් වැතිරෙන යම් නිර්නාමික වීරවරියකට වඩා Zinaida සිය දියණිය මගින් විදාරණය කරන, පෞද්ගලිකත්වය අතික්‍රමණය කරන කලාත්මක සේයාව, ඇගේ වැඩිහිටි ඥාතියකු වන කීර්තිධර Alexander Benois පවා පසසනු ලබයි.
Zinaida සිය තේමාවන් බොහෝ විට ගොඩනගන්නේ පරිසරය; පවුල වැනි සාමාන්‍ය දේ සමඟ වුවද ඒවාට අනන්‍ය වූ යම් සුවිශේෂී බවකින් පිරිපුන්ය.
විසි වැනි සියවස මුලදී ජනප්‍රිය වූ Avant garde නැමියාවන්ගෙන් ඇය මිදෙන නමුදු දයාවේ හා සුන්දරත්වයේ ගෞරවනීය නියෝජිතවරියක් ලෙස Zinaida සිය ඊසලය සකසා ගන්නේ ප්‍රීතියෙනි. ඇගේ සිතුවම්, ඇගේ ජීවිතයේ දෘශ්‍යමය ස්වයංචරිතාපදානය යි. ඇය ප්‍රංශ පුරවැසිභාවය ලබන්නේ 1942 පමණය. නැවත සිය මාතෘ භූමියට යා යුතු බවට දැනුණු හැඟීමෙන් මඬිනු ලබමින් ප්‍රංශ පුරවැසි බව ලබා ගැනීම කල් දැමුවද එම වියැකී යන බලාපොරොත්තුව ඇය ප්‍රංශ පුරවැසි බවට පත් කරවයි.
ඇයට හැර දමා පැමිණීමට සිදුවන දියණිය Tatyana හා ඇය නැවත එක්වන්නේ තිස් හය වසරකට පසුව 1960 දීය.
Tatyana සිය මව වෙනුවෙන් 1965 දී ප්‍රත්‍යවලෝකන සිතුවම් ප්‍රදර්ශනයක් සැලසුම් කරන්නීය. ප්‍රංශ පුරවැසියෙකු ලෙස නැවත සිය මව් බිමට පැමිණෙන Zinaida ගේ එම ප්‍රදර්ශනය අතිශය සාර්ථක වන්නේ ඇය අමන්දානන්දයට පත් කරවමිනි.
Tretyakov Gallery වැනි ඉමහත් ගෞරවනීය ස්ථාන වල සිය සිතුවම් රැඳවූ මෙම සිත්තරාවිය 1967 දී මියැදෙන්නේ ප්‍රංශයේ දීය. පැරිසියේ Sainte – Genevieve – des – Bois නම් Russian Orthodox සුසාන භූමියේ ඇය මිහිදන් වන්නේ, ඇය මෙන්ම නැවත සිය මව්බිමට යාමට නොහැකි වූ, දහස් ගණන් රුසියානුවන් අතරය.
A nice piece of writing about an exceptional character