/ Feb 11, 2026

සජිත් ධම්ම පදයට බසී – දහම් පාසලට සුහුරු අධ්‍යාපනය ගෙනෙන්නත් යෝජනාවක්!

රටේ දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමට මීට පෙර රාජ්‍ය මැදිහත්වීමක් තිබු බවත් එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය තුළ බුදුදහම ශක්තිමත් කර පෝෂණය කිරීම ගැන සඳහන් බවත් ඊට සමගාමීව සෙසු ආගම් සංස්කෘතීන් රැකගෙන ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම වුවත් දැන් ඒ දේ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සුචරිතවත් දරුවකු සමාජයට බිහි කරන්නේ දහම් අධ්‍යාපනය තුළින් වීම නිසා ඉදිරි කාලයේ දී තරුණයන් දහම් අධ්‍යාපනය කෙරෙහි යොමුවීම ප්‍රවර්ධනය කිරිමට දහම් පාසල තුළද සුහුරු අධ්‍යපනය මෙන්ම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ක්‍රියාත්මක කළ යුතු බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන් කිරිවෙහෙර පුදබිමේ උදෑසන දානමය පිංකම හා දහම් පාසල් සිසු දරුවන්ට පාසල් නිල ඇදුම් රෙදි ලබා දීමේ අවස්ථාව හා එක්වෙමිනි.

ධම්ම පදයේ දේශනා කරන ආකාරයට අනුන්ට උපදෙස් දෙන්නට පෙර තමා සුදුසු ගුණයේ පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත් බව හෙතෙම සඳහන් කරයි.

එය දූදරුවන්ට මෙන්ම ගුරුවරුන්ට, දේශපාලනඥයන්ට ද සියලු දෙනාටම අදාළ බවත් අද සමාජයේ බහුතරයක් අනුන්ට උපදෙස් දුන්නත් ඒ උපදෙස් දෙන අයම ඒ උපදෙස් උල්ලංඝනය කිරීම දක්නට ලැබෙන බවත් කෙලෙස් නිර්මාණය කරන වචන 1000කට වඩා කෙලෙස් දුරලන එක් වචනයක් වටිනා බවට ධර්ම පදයේ සඳහන් බවත් ප්‍රේමදාස මහතා කියා සිටියි.

එසේම ධම්ම පදයේ තවදුරටත් සඳහන් වන ආකාරයට සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දැකිය යුතු අතර සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් නොදැකිය යුතු බවත් සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් අර්ථ දැක්වූවහොත් එමගින් ද කෙලෙස් නිර්මාණය වන බවයි ඔහු පවසන්නේ.

මේ අතර ධම්ම පදයේ තවදුරටත් සඳහන් වන ආකාරයට මහා ගල් පර්වතයක් සතර දෙසින් හමන සැඩ සුළගින් නොසැලෙන්නා සේ සමාජයේ සිටින උගතුන් පණ්ඩිතයන් ද තමන්ට එල්ල වන නින්දා ප්‍රශංසා ඉදිරියේ නොසැලී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා කියාසිටියි.

අද සමාජයේ පදනම් විරහිතව නින්දා අපහාස මෙන්ම ප්‍රශංසා ද සිදු කරන බවයි ඔහු කියාසිටින්නේ.

බුදු රජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට නින්දාවේදීත් ප්‍රශංසාවේදීත් නොසැලී සිටීමට කටයුතු කළ යුතු බවත් මේ දහම් කරුණුවල අඩංගු විවිධ ගුණාංග ප්‍රායෝගිකව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිය යුතු බවත් මේ ධර්ම කරුණු පිළිපැදිය හැකි නම් ශක්තිමත් ශිෂ්ටසම්පන්න විනයගරුක යුක්තිගරුක ශීලාචාර සුචරිතවාදී පුරවැසි පරපුරක් බිහි කළ හැකි සේම සැවොම එකතු කර ගත් සැවොම ප්‍රතිලාභ ලබන සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කළ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top