2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන් ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. ඒ අනුව පිටුපස ආසනවල යන මගීන් ද ආසන පටි පැලඳීම කළ යුතු බව සඳහන්.
තව ද සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල, ආසනවල ගමන් කරන මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.
රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද සිට බස් හා ලොරි රථ සඳහා ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අද සිට ක්‍රියාත්මකවන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම මීට පෙර දැනුම් දුන්නේය.
එහි සභාපති ඉංජිනේරු පී.ඒ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.