/ Dec 29, 2025

කළු ජූලියේ දින හතක් : යටත්විජිත උරුමයන් සහ බලය විසින් නිමැවූ ඛේදවාචකයක් ගැන ප්‍රති-ඉතිහාස කෘතියක්!

ගවේෂණාත්මක මාධ්‍යවේදී  නන්දන වීරරත්න විසින් මෑත කාලයේ සම්පාදනය කරමින් සිටින ගවේෂණාත්මක කෘති මෙරට ප්‍රති-ඉතිහාස (Counter-History)කතිකාව සිංහල භාෂාවෙන් පෝෂණය කරන අනර්ඝ කෘති බව අපගේ හැඟීමයි. විශේෂයෙන් ගවේෂණාත්මක තොරතුරු සම්පාදනය සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත්වීම එම විෂය පෙදෙසට මහත් අලෝකයක් සපයයි.

එලෙස ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද කෘති අතරින් “රට වැනසූ 83 කළු ජූලියේ දින හතක්” කෘතිය ඒ අතරින් සුවිශේෂී වන්නේ, ශ්‍රී ලංකාව අද පත්ව ඇති තත්වය කෙරෙහි එහි එන සිදුවීම්වලින් වී ඇති ඍජු බලපෑම මග හැරිය නොහැකි බැවිනි. එසේ ම නිල ඉතිහාසයට(Official History)වෙසෙස්ව ප්‍රති-ඉතිහාස කතිකාව ගොඩනැංවිමේ අරුතින්ද එය මහත් වැදගත්කමක් දරයි.

මෙම කෘතිය කෙරෙහි විචාරාත්මක එළැඹුමක් ලෙස, Postcolonial Criticismහෙවත් පශ්චාත් යටත්විජිත විචාර විධික්‍රමයේ එන සංකල්ප වැදගත් වේ.

අප කවුරුත් දන්නා පරිදි කළු ජූලිය ප්‍රධාන ඉතිහාස කතාවේ වරනගා ඇත්තේ 1983 ජූලි මාසයේදී සිංහල සෙබළුන් 13 දෙනෙකු එල්ටීටිඊ ප්‍රහාරයක් නිසා මරණයට පත්වීම හේතුකරගෙන බහුතර සිංහල ජනයා අතර පැතිර ගිය ප්‍රකෝපය මතින් නිර්මිත දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරි සිදුවීම් දාමයක් ලෙසිනි.

එහෙත් එය එසේ නොව මෙහි මූලයන් යටත්විජිතවාදීන්ගේ පාලන උපායමාර්ග දක්වා දිව යන බව කළු ජූලියේ දින සතක් ප්‍රති-ඉතිහාස ආඛ්‍යානය දෙස බැලූ කල පැහැදිලි වෙයි. කළු ජූලිය සිදු වන විට පාලනය කළ මෙරට පළමු විධායක ජනපති ජේ.ආර් ජයවර්ධන විසින් ක්‍රියාත්මක කරන ලද මර්දනකාරී දේශපාලනය සහ සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ගෙන ගිය ප්‍රචණ්ඩත්වය යටත්විජිත පාලකයන් මෙරටට උරුම කරදුන් (මධ්‍යගත) රාජ්‍ය බලයේ අධිකාරී ස්වභාවයේ ම දිගුවකි.

අනෙක් අතට වාර්ගික බෙදීම දේශපාලන ප්‍රවාහයේ මතු කර ගැනීම යටත්විජිත උපක්‍රමයේ නවීන අනුකරණයකි. ජේ.ආර්. විසින් යටත්විජිත උපක්‍රමය දේශීයකරණය කරගත්තා කිවහොත් එය වඩා නිවැරදි වෙයි. කතුවරයා සිය කෘතියේ ඉතා පැහැදිලිව හෙළි කරන පරිදි එවකට මෙරට ජාතිවාදි දේශපාලනයේ ප්‍රකට ප්‍රකාශකයෙකු වූ කළුවාදේවගේ සිරිල් මැතිව් කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයට පත් කිරීම වැනි කරුණු රාශියක් ගිණිය හැකිය. සිය බෑණනුවකු වූ බුල් වීරතුංග උතුරේ හමුදා අණදෙන නිලධාරී ලෙස පත් කිරීම, සංවර්ධන සභා යාපනේ ගිනි ලෑම, 1981 දී ගෙනා මිය ගිය අයවලුන් මරණ පරීක්ෂණවලින් තොරව අවසන් කටයුතු කිරීමේ පණත, හදිසි නීතිය ආදී බොහෝ උදාහරණ වෙත්.

කිකලෙකවත් සිදු නොවූ පරිද්දෙන් විනිසුරුවන්ගේ ගෙවල් අබියස සිදු කළ දේශපාලන හෙංචයියන්ගේ උද්ඝෝෂණ, මහජන ආරක්ෂක පණත ආදිය විසින් පෙන්නුම් කරනු ලැබුවේ නීතියේ ආධිපත්‍ය බලයේ මෙවලමක් බවට පත් කැරගත් අයුරුයි.

මෙම කෘතිය විසින් හෙළිකරන තවත් වැදගත් කරුණක් නම් අනෙකා ගොඩ නැංවීමයි. (Construction of the ‘Other’) මේ සඳහා කුප්‍රකට කළු ජූලියට පෙර වසර ගණනාවක් තිස්සේ දෙමළ ජනයාට එරෙහිව ජාතිවාදය ක්‍රමයෙන් ඇවිස්සීම හරහා පශ්චාත් යටත්විජිත රාජ්‍යයේ ජාතික අනන්‍යතාව සිංහල-බෞද්ධ පදනමක් මත ස්ථාපිත කිරීම සිදු වූ අයුරු මෙම කෘතියේ බොහෝ කරුණු විසින් කියා පායි. සිංහල බෞද්ධ අනන්‍යතාවට සතුරු අනෙකා ලෙස දෙමළා ගොඩනැංවීම ඒ හරහා සිදු කෙරිණ.

කෘතියේ බොහෝ තැන්වල එන පරිදි දෙමළ ජනයාට විරුද්ධව මිලිටරිය ක්‍රියාත්මක වී කරන ප්‍රහාර ( 1977 දී රොටරි සැණකෙළියේදී සිදුවීමට පලිගැනීමක් ලෙස පොලිසිය විසින් යාපනය කඩසාප්පු ගිනිබත් කිරීම, 83 ජූනියේ නාවුක හමුදාව ත්‍රිකුණාමලයේදී දෙමළ ජනයාට කරන පහරදීම ආදී තවත් සිදුවීම්) රාජ්‍යය විසින් සිය සුළු ජාතික පුරවැසියන්ට එරෙහිව දණ්ඩමුක්තිය සහිතව (Impunity)) ක්‍රියා කළ හැකි බවට දුන් සංඥාව සුළුපටු එකක් නොවේ.

පශ්චාත් යටත්විජිත රාජ්‍යය විසින් දේශපාලන සහ ආර්ථික සාධාරණත්වය ලබා දීමට අසමත්වූ පීඩිත කණ්ඩායම් විසින් ප්‍රචණ්ඩත්වය විසඳුමක් ලෙස තෝරාගන්නා අයුරු උතුරේ සාම්ප්‍රදායික දේශපාලනය පරයා තරුණ සන්නද්ධ කණ්ඩායම්වල නැගී සිටීම සටහන් කරයි.

මෙම කෘතියේ වැදගත්ම කරුණ ලෙස දැක්විය හැක්කේ, දේශපාලන උපකරණයක් ලෙස ජාතිවාදය යොදා ගැනීමයි. කළු ජූලිය යනු ඉතා පැහැදිලිව ම දේශපාලන අර්බුදයකින් ගැලවීම සඳහා ජයවර්ධන ජනපති විසින් යොදාගත් ප්‍රපංචයකි.

දේශපාලන අර්බුදයක් වර්ගවාදී ආවරණයකින් විසඳීම ලෙස මෙය දැක්විය හැකිය. ජයවර්ධන රජය බලයට පත් වූ ශක්තිමත් රජයක් ලෙස ඉතිහාසයේ පෙනී සිටියද, 1981 යාපනයේ සංවර්ධන සභා ඡන්ද පරාජය ( විශාල ඡන්ද මංකොල්ලයකින් පසුවත්) ඡන්දය කල්දමා පාර්ලිමේන්තුව දිගු කර ගැනීමට ගත් වෑයම දේශපාලන අස්ථාවරත්වයක් පෙන්නුම් කරයි. කළු ජූලිය මෙම දේශපාලන අර්බුදයෙන් ගැලවීමටත් නිසැකව ම පැරදීමට නියමිතව තිබූ විජේවීර (ෆීලික්ස්, ප්‍රින්ස් කැටුව) පැවරූ ජනමත විචාරණ නඩුවෙන් ගැලවීමටත් කදිම මගක් සැපයූ බව කෘතිය සාක්ෂි සාධක සහිතව පෙන්වයි.

වර්ගවාදී ප්‍රචණ්ඩත්වයේ ආවරණය යටතේ අරමුණු සාක්ෂාත් කර ගැනීම යටත්විජිත යුගයේ සිට පැවැති බල යාන්ත්‍රණයයි. කළු ජූලියේ වර්ගවාදී ප්‍රචණ්ඩත්වය දඩමීමා කරගනිමින් නැගී එන මහජන විරෝධය පාලනය කිරීමටත්, ජවිපෙ ඇතුළු පක්ෂ 3ක් තහනම් කර විරෝධි දේශපාලන බලවේග මර්දනය කිරීමටත් ජයවර්ධන ආණ්ඩුව ගත් පියවර සමාන වන්නේ 1915 දී සිංහල-මුස්ලිම් කෝලාහලය ඉදිරියට දමා මාෂල් ලෝ පනවමින් යටත්විජිත ආණ්ඩුව එවක නැගී ආ රාජ්‍ය විරෝධය මැඩලීමේ සිදුවීමටයි.

මෙසේ බලන කල නන්දන වීරරත්න විසින් රචනා කර ඇති ප්‍රති-ඉතිහාස කෘතියක් ලෙස ගිණිය හැකි රට වැනසූ 83 කළු ජූලියේ දින හතක් කෘතිය ශ්‍රී ලාංකේය රාජ්‍යය තුළ යටත් විජිත උරුමයන්සහබලය පිළිබඳ සංකල්පය1983දීත් වාර්ගික ඛේදවාචකයක් නිර්මාණය කිරීමට යොදා ගත් ආකාරය පිළිබඳ ඉතා අත්‍යවශ්‍ය විචාරයක් ඉදිරිපත් කරයි.

අප තවදුරටත් මෙහි දිගුවක් ලෙස කල්පනා කරන්නේ නම්, වර්තමානය දක්වා මෙවැනි සිදුවීම් නිර්මාණය කරමින් රාජ්‍යය සිය බල ආධිපත්‍යය ගොඩනැගීම සිදු කළ ආකාරය නිරීක්ෂණය කළ හැකිය. සිවිල් යුද්ධය අවසානයෙන් පසුව, අනෙකා ලෙස මුස්ලිම් ජාතිකයා ගොඩනැවීමට කරන ලද මැදිහත්වීම්ද කිසිවෙකුට අවැසි නම් මේ සංකල්ප හරහාම හාරා පාදාගත හැකි ය.

නන්දන වීරරත්න විසින් රචනා කර ඇති මෙම කෘතිය යුක්තසහගත සමාජයක් අපේක්ෂා කරන සියලුම දෙනා පාහේ කියවිය යුතු කෘතියක් බව සටහන් කර තැබිය යුතු ය.

සඳුන් ප්‍රියංකර විතානගේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top