/ Jun 09, 2025

තරුණියට ලිංගික හිංසන කළේ අපේ කෙනෙක් නොවේ GMOA කියයි

Sexual assault on a young woman

මීගමුව දිස්ත්‍රික් රෝහලට ප්‍රතිකාර පිණිස පැමිණි තරුණියකට එහි වෛද්‍යවරියක විසින් ලිංගික හිංසන සිදු කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම සිදුවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ මෙම චෝදනාවට ලක් වූ වෛද්‍යවරයා තම සංගමයේ සාමාජිකයෙක් නොවන බවයි.

නිවේදනය පහතින්,

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියක්, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක් කරනු ලැබුවේ යයි සිදු කරන ලද පොලිස් පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා වාර්තා වී ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් ශාඛාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව මෙම සිදුවීමට අදාල  වෛද්‍යවරයා, අප සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බව තහවුරු කරන ලදී.

එසේ වුවත්, රජයේ රෝහලක් තුළ සිදුවුණු මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අප විශ්වාස කරන අතර, එම විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහයෝගය ද ලබාදෙනු ඇත.

සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්‍ෂාව තහවුරු විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදීමට ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානම් බව අවධාරණය කරමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top