/ Aug 02, 2025

බොලිවුඩ් සිහින කුමරාගේ ප්‍රසංගයට එදා ලංකාවේදී ගැසූ බෝම්බය!

කොළඹදී විවෘත කිරීමට නියමිත City of Dreams කැසිනෝ ශාලාව සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට බොලිවුඩ් කිං ඛාන් ලෙස හැඳින්වෙන ෂාරුක් ඛාන් පැමිණීමට නියමිතව තිබුණද අවසන් මොහොතේ ඔහු එය අවලංගු කර තිබු‍ණේ පෞද්ගලික හේතු කාරණා කිහිපයක් නිසාවෙනි.

කෙසේ වෙතත් ෂාරුක් ඛාන් මෙරටට වසර 21කට එපිට ද පැමිණි අතර, එහිදී ඔහු සහභාගි වූ ප්‍රසංගයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණි. මෙම ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය ගිය අතර 19 දෙනෙකු තුවාල ලැබූහ.

2004 වසරේ දෙසැම්බර් 11 වන දින, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රේස්කෝස් පිටියේ පැවති “Temptation 2004” නම් සංගීත ප්‍රසංගය අතරතුර මෙම ප්‍රහාරය එල්ල විය.

මියගිය දෙදෙනා පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වූ ලංකා ජයසුන්දර සහ හෝටල් සේවිකාවක් වූ දිලානි මහේෂිකා යන අය ලෙස හඳුනා ගැනිණි. ෂාරුක් ඛාන් සහ ඔහුගේ කලා කණ්ඩායමට කිසිදු හානියක් සිදු නොවීය. මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණේ “රෙඩිෆියුෂන්” (Rediffusion) නම් සමාගමක් විසින් වන අතර, එහිදී ෂාරුක් ඛාන් සමඟ ප්‍රියංකා චොප්රා, ප්‍රීති සින්ටා, සයිෆ් අලි ඛාන්, සෙලීනා ජෙට්ලි සහ සායෙඩ් ඛාන් වැනි බොලිවුඩ් තරු ද රංගනයෙන් දායක විය. ප්‍රසංගය සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ.

ප්‍රියංකා චොප්රා පසුව පවසා තිබුණේ තමා එම පිපිරීම දුටු බවත් එය ගිනිකෙළි පිපිරවීමක් බව සිතු බවත් ය.

මෙම ප්‍රසංගය පැවැත්වූ දිනය මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ හිමිනමක් වූ ගංගොඩවිල සෝම හිමිගේ මරණයේ පළමු වසර පිරීමේ දිනයට සමගාමී වීම සමහර අන්තවාදී කොටස් හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළ අතර මෙම ප්‍රසංගය වැළැක්වීමට එම ස්ථානයේ විරෝධතාද දක්වනු ලැබීය.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජලප්‍රහාර සහ රබර් උණ්ඩද භාවිතා කළ බව වාර්තා විය. මෙම සිදුවීමෙන් පසු ෂාරුක් ඛාන් සමාව ඉල්ලා සිටි අතර ප්‍රසංගය ආරම්භයේදී සෝම හිමි සිහිපත් කර විනාඩියක නිශ්ශබ්දතාවක් පවා පැවැත්වීය.

කෙසේ වෙතත් එල්ල කෙරුණු අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරනොගත් අතර වරදකරුවෙකු සොයාගැනීමටද නොහැකි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top