/ Feb 05, 2026

සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාරට පක්ෂය ඇතුළෙන්ම ජීවිත තර්ජනයක්. සජිතුත් ෆයර් වෙයි – ආරක්ෂාවත් ඉල්ලයි!

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාරගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව තිබේ. මීට ඉහතදීද මෙම කාරණය පාර්ලිමේන්තුවේ අවධානයට ලක්වූ අතර අද (05) දිනයේදී ද මන්ත්‍රීවරයා විසින් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුව තිබෙන බව සභාවේදී ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පැවසුවේ උතුරු මැද පළාත් බුද්ධි අංශ වාර්තා සමඟ පොලිස්පතිවරයා දැනුම් දී තිබුණේ තමන්ට ආරක්ෂාව සැලසීම සුදුසු වන බවත් ඒ වෙනුවෙන් කැබිනට් තීරණයක් මත ඒ සඳහා කටයුතු කිරීම යෝග්‍ය බවත්ය. අනතුරුව ආරක්ෂාව ලබා දිය නොහැකි බවට පොලිස්පතිවරයා විසින් නැවත ලිපියකින් දැනුම් දී තිබෙන බවද ඔහු සඳහන් කරන ලදී.

ඒ අනුව පොලිස්පතිවරයාගේ එක් ලිපියක් ආරක්ෂාව සැලසිය යුතු බවටත් අනෙක් ලිපිය මඟින් ජීවිත තර්ජනයක් නොමැති බවත් එය පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් දැනුම් දී තිබේ.

මේ වන විට සිය නිවසේ ගේට්ටුවේ පොලීසිය විසින් මුර සංචාර සිදුකරන බවට පොතක් එල්ලා ඇති බවත් මේ වන විට දින දෙකක් එහි අත්සන් කර ඇති බවත් පැවසූ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ එක් අවස්ථාවක ආරක්ෂාව දිය යුතු බව පැවසීමත් නැවත එය පක්ෂය අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් බව පවසා ආරක්ෂාව ලබා නොදීමට තීරණය කිරීමත් ප්‍රශ්නකාරී බවයි.

මෙහිදී සමඟි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සමඟ කිසිම අභ්‍යන්තර ගැටළුවක් නොමැති බවයි. ඒ අනුව ඔහුට ලැබිය යුතු ආරක්ෂාව ලබා දීමට කථානායකවරයා නියෝග කළ යුතු බවට විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මෙහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සභාවට කරුණු දක්වන ලදී.

” මීට කලිනුත් විපක්ෂයේ මන්ත්‍රීවරු ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළාම පොලිස් වාර්තාවක් අරගෙන අවශ්‍ය අයට ආරක්ෂාව ලබාදීලා තියෙනවා. පොදුවේ ඔක්කෝටම ආරක්ෂාව ලබාදෙන්න ඕනේ කියල එකක් රජයේ නැහැ. අවශ්‍ය අයට පොලිස් වාර්තා මත පදනම් වෙලා තමයි පොලීසිය අදාළ අමාත්‍යාංශයට යොමුකරන්නේ. එතුමාම කියනවා නම් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් නිසා එතුමාට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා කියල, කලින් වාර්තාව ඉදිරිපත් කරපු පොලීසියම තමයි අනෙක් වාර්තාව ඉදිරිපත් කරන්නෙත්. ඒ නිසා දෙවෙනි වාර්තාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නම් අපි විශේෂයෙන් කියනවා මහජන ආරක්ෂක අමාත්‍යතුමාට ඒ ගැන සැලකිලිමත් වෙලා කොහෙන් තර්ජනයක් ආවත් ආරක්ෂාව ලබාදෙන්න මැදිහත්වෙන්න පුළුවන්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top