දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරන්නේ.
කෙසේවෙතත් ඊශානදිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බවත් ඔහු කියාසිටියි.
උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාතට මෙම ඊශාන දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව වර්ෂාපතනය වැඩි විය හැකි අතර ඕනෑම අවස්ථාවක එම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මි.මී 75 හෝ 100ක පමණ වැසි ඇති වීමේ හැකියාවද පවතියි.
දිවයිනේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.
ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මෙම තත්ත්වය තිබිය හැකි අතර
දිවයින අවට පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය ඉස්මතු වීමත් ඊශාන දිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී තිබේ.
බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය දිවයිනට ඈතින් වූ ගිනිකොණ දිග දිශාවේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින බව අතුල කරුණානායක මහතා පවසයි.
මේ හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකි අතර ධීවරයින් හා නාවිකයින් ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.





