ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
ඔහු එලෙස අත්අඩංගුවට පත්වූයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළවය.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසුවේ සාක්ෂි මත පදනම්ව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගෙන් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කරන බවද ඔහු කියා සිටියේය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වු නීති දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී දින 3ක් රඳවා ගැනීමේ හැකියාව හිමිවෙන බවයි.
ඉන් අනතුරුව සාක්ෂි මත පදනම්ව රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ හැකි බවද පැවසු ඔහු ඒ සඳහා නෛතික ප්‍රතිපාදන ඇති බවත් ඔහු කියා සිටියේය.




