මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානය වෙත ජපන් ආධාරයක් වශයෙන් ලැබී ඇති ගිලන් රථය කඩිනමින් නිදහස් කර දෙන ලෙස මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ සුවමංසල සංවිධානය ජනාධිපතිවරයාගෙන් නැවතත් ඉල්ලීමක් කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ.
අපේක්ෂා රෝහල් විහාරස්ථානය සහ සුවමංසල සංවිධානය පිළිකා ගිලනුන් සහ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් බොහෝ මෙහෙවර සිදු කරන ආයතනයක් ලෙස ප්‍රසිද්ධ ය.
සුවමංසල සංවිධානය විසින් ගිලන් රථයක් වෙනුවෙන් මුදල් එකතු කරමින් සිටියදී ජපානයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ආධාරයක් ලෙස ලැබී ඇති මෙම ගිලන් රථය 2024 මාර්තු 04 වන දින මෙරටට ලැබී ඇති බවත්, මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකුට එය නිදහස් කිරීම සම්බන්ධව අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇති නමුත් ඒ සඳහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නැතැයි එම සංවිධානය පවසයි.
මෙහිදී අදහස් දැක්වූ මාධ්‍යවේදී ලංකා ජයවර්ධන පවසා සිටියේ හිස් ජෑම් බෝතලයකට සිල්ලර කාසි එකතු කරමින් මෙම රථය ලබා ගැනීමේ කටයුත්ත ආරම්භ කළ බවයි. පිළිකාවට ගොදුරු වී අසරණව සිටින පීඩිත ජනතාව වෙනුවෙන් කරන මේ කටයුත්තට සෞඛ්‍ය ඇමැතිවරයා සහය විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.
රෝගී තත්ත්වය නිසා මිය යන අයගේ මළ සිරුරු අවසන් කටයුතු සඳහා තම නිවාසවලට ගෙන යාම සඳහා නොමිලේ ප්‍රවාහනය ලබා දීම මෙම ගිලන් රථය විහාරස්ථානයට ලැබීමෙන් පසු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී සඳහන් විය.