හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කර ඇති බවට උක්ත විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව මෙම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අද දිනයේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද අදාළ නියෝගය සූදානම් නොමැති බවත් එය මාර්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.





