මේ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාවක් බවට අල සහ ලූණු ගොවියන්ගේ ප්‍රශ්නය මතුව තිබේ.
අස්වනු නෙළන සාමය වනවිට ඔවුන්ට නිසි මිලක් නොමැති වීම එම අර්බුදයයි.
ඒ අනුව අල, ලූණු ගොවියන් මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය හමුවේ කෘෂිකර්ම ඇමතිවරුන්ට හා වෙළෙඳ ඇමතිට ඉල්ලා අස්වෙන ලෙස ගොවියන් විසින්ම බලකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ස්ථාවර නියෝග මත අද (11) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය.
කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අල සහ ළුණු ගොවියන්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව සැලකිය යුතු අවධානයක් යොමුකර ඇති බවයි.
ආනයනික අල සහ ලූණු වෙත අගෝස්තු 25 වැනිදා මධ්‍යම රාත්‍රියේසිට බදු පනවා ඇති අතර ඉල්ලා ඇති පරිදි කිලෝව 130ක මිලට රාජ්‍ය සහ පෞද්ගලික අංශය මිලදී ගැනීමේ වැඩපිළිවෙලක්ද සකස් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර රු.10ක් පැවති බද්දද රු.50 දක්වා වැඩි කළ බවද සමරසිංහ මහතා සඳහන් කළේය.
යාන්ත්‍රණයක් අනුව වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවද වැසි තත්ත්වයේ බලපෑමත් එක්ක ළුණු මිල ඉහළ පහළ යාමත් එක්ක ලූණු මිල බිඳ වැටුණ බවද ඔහු කියා සිටියේය.
”ඒ නිසා ලූණු වෙළෙඳපොළෙත් අල වෙළෙඳපොළෙත් ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව මේ මාස එකහමාර ඇතුළත රජයක් හැටියට ඉතාම හොඳින් අවධානයට ගෙන තිබෙනවා. ඒ නිසා තමයි මෙවර අයවැයේත් අපි ලබන අවුරුද්දෙත් මේ ප්‍රශ්නය එන එක වළක්වන්න නම් දීර්ඝ කාලීන සැලසුමක් ඕනේ. ඒ සැලසුමට අවශ්‍ය කරන සූදානම හදාගන්න රු. මිලියන 1000ක මුදල් වෙන්කරලා තියෙනවා ගබඩා පහසුකම් සහ මිලදී ගැනීම් ක්‍රියාවලියට යන්න. ඒ නිසා ගොවි ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් ලබා දීම වෙනුවෙන් මේ අවුරුද්ද සමස්ත ප්‍රශ්නයට උත්තරයක් නෑ. අද ලූණු ගත්තම රු.160යි 165යි. අල ගත්තම රු.200යි 220යි. ඒ නිසා මේ ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් හොයන්න ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා. විපක්ෂය මේක ජාතික ප්‍රශ්නයක් ලෙස මතු කරන්න හැදුවට, අල ගත්තේ නෑ, ලූණු ගත්තේ නෑ කියල කියන්න හැදුවට ඒවා ගත්තා. ඒ වගේම මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් ලෙස මැදිහත්වීමේ ප්‍රමාණය නැති නිසා තමයි දීර්ඝ කාලීන උත්තරයක් මේක ඕනේ.”
ඒ අනුව 2026 වසර වෙනුවෙන් ගොවියන්ගේ මෙම ප්‍රශ්නය විසඳීමට රු. මිලියන 1000ක් වෙන් කර ඇති අතර ගොවියාගේ නිෂ්පාදන පිරිවැය සහ ලාභය එකතු කරන ලද මිලක් කලින්ම ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.





