කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල දෙවැනි වරට ඊයේ (27) දිනයේදී කඩුවෙල පොලීසිය හමුවේ විභාගය සඳහා කැඳවා තිබිණි.
පැමිණිලිකාර නීතීඥ නේත්‍රපාණී ඩයස් ඇතුළු නීතීඥ පිරිසක් ඒ සඳහා පොලිස් ස්ථානයට පැමිණි සිටි නමුත් කඩුවෙල නගරාධිපතිවරයා දෙවැනි දිනයේදී ද එහි පැමිණ නැත.
තමන් අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහු ලිපියක් මගින් පොලිස් ස්ථානයට දැනුම් දී ඇති අතර සිද්ධිය සමථ මණ්ඩලයට යොමුකිරීමට කඩුවෙල පොලීසිය යෝජනා කර තිබුණ ද පැමිණිලිකාර පාර්ශ්වය ඊට විරෝධය පළකර ඇති බව වාර්තා වෙයි.
මේ අතර මෙම සිද්ධියටම අදාළව චෝදනා එල්ල වී සිටින ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නීතීඥයකු මාර්ගයෙන් ඉදිරිපත්ව සිටි අතර ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
සත්ව සුබ සාධන සංගමක් නියෝජනය කරමින් අදාළ නීතීඥවරිය සිද්ධියට පාදක වූ රැස්වීමට ගොස් සිටි අතර නගරාධිපතිවරයා විසින් එහිදී හැසිරුණු ආකාරයට විරෝධයක් එල්ල විය.
හඬ පට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සමාජ අවධානය යොමු වූ අතර එම අවස්ථාවේ නගරාධිපතිවරයාගේ හැසිරීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද නිවේදනයක් නිකුත් කරන ලදී.





