මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (21) සිදුවිය.
මෙහිදී විශය මාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනයේ චැනල් එන්.අයි.යී. වෙබ් පිටුවේ (channelnie.nie.ac.lk) එළිදැක්වීමටයි කටයුතු කෙරුණි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන ලංකාව තුළ විසිරී පවතින විවිධ මට්ටමේ මුල් ළමා විය අධ්‍යාපන මධ්‍යස්ථානවල එකම ආකාරයේ විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සහ ගෝලීය න්‍යාය පත්‍ර සඳහා මෙන්ම ශ්‍රී ලාංකික දරුවාගේ මුල් ළමාවිය යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අධ්‍යාපන විෂයමාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කොට තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමත් එහි වලංගුභාවය පරීක්ෂා කිරීමත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, යුනිසෙෆ් ශ්‍රී ලංකා යන සියලු ආයතනවල සහයෝගයෙන් සිදු කර ඇත.
යෝජිත මෙම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
යුනිසෙෆ් ආයතනයේ මූල්‍යමය හා තාක්ෂණික දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී ‘තුල්හිරිය මාස් ඇතිනා’(MAS Athena) ආයතනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.





