/ Jan 16, 2026

රටම එකට ජාතික මෙහෙයුම යාපනය වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අද (16) යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

“රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලේ දී පැවැත්විය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව උතුරු පළාතේ ජනතාව දැනුම්වත් කිරීමත්, “රටම එකට” ජාතික මෙහෙයුම තුළින් ඉටු කරන සුවිශේෂී කාර්යයභාරය පැහැදිලි කරමින් උතුරු පළාතේ මහජනතාවගේ හා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සාධනීය දායකත්වය මෙම මෙහෙයුම වෙනුවෙන් ලබා ගැනීමත් අද (16) පැවැත්වෙන උතුරු පළාත් වැඩසටහන තුළින් අපේක්ෂා කරයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන කාර්යයන් කිහිපයක් කෙරෙහි මූලික අවධානය යොමු කර තිබේ.

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, අලෙවි කරන්නන් හා එම ජාවාරමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීති මගින් කටයුතු කිරීම, භාවිතයට ඇබ්බැහි වූ තැනැත්තන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීම, මෙම උවදුරට විරුද්ධව සමස්ත සමාජය බලගැන්වීම පිණිස මතවාද ගොඩනැංවීම, අදාළ රාජ්‍ය ආයතන ඇතුලු සියලු පාර්ශ්වයන් එකම අරමුණක් වෙනුවෙන් ඒකරාශීව කටයුතු කිරීම හා විෂ මත්ද්‍රව්‍ය පිටුදැකීම කෙරෙහි යොමු වූ ධනාත්මක ප්‍රචාරණය යන ප්‍රධාන කාර්යයන් මෙහිදී සමගාමීව ක්‍රියාත්මක කෙරෙයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ වාර්තාවට අනුව 2025.10.30 දින සිට 2026.01.13 දින දක්වා කාලය තුළ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව සිදුකරන ලද සමස්ත වැටලීම් ගණන 69,960කි.

මේ යටතේ සැකකරුවන් 69,318ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඉන් රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 1,446කි.

සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධව මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත. මත්ද්‍රව්‍ය භාවිත කර අත්අඩංගුවට පත්ව මේ වන විට පුනරුත්ථාපනයට යොමු කළ පිරිස 1,384ක් ලෙස දැක්වෙයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා ඇතිවන සෞඛ්‍ය, සමාජ හා ආර්ථික පරිහානිය වළක්වමින් සමාජ සුරක්ෂිතභාවය ඇති කිරීම වෙනුවෙන් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top