මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
පවතින යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවන් පැනවී ඇති හෙයින් උක්ත ප්‍රමාදයට හේතුව එය බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් බව අරුණ ජයසේකර මහතා පැවසීය.
පවතින වාතාවරණය අනුව අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී ප්‍රමාදයක් ඇති විය හැකි හන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකිරීමට සිදුව තිබෙන බවද ඔහු පෙන්වා දෙන ලදී.
”ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන් නැව් ගමනාගමනයට, ගුවන් යානා ගමනාගමන කටයුතුවලට සීමාවන් ඇතිවෙලා තියෙනවා, සීමාවන් පනවලා තියෙනවා, සීමාවන් පනවන්න වෙලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරන ලද ඒ අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාදයන් ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදී. ඉදිරි සති කිහිපය තීරණාත්මකයි. ඒ අනුව අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ අනුව තමයි අපේ හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.





