බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම නියම කර තිබේ.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබුණු අතර මර්දනය වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් ලබාදී තිබේ.
ඇය පහළොස් වසරක් තිස්සේ බංග්ලාදේශය පාලනය කළ අතර 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගියේය.
කෙසේ වෙතත් මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ හසීනාට එරෙහි මෙම නඩු විභාගය පැවැත්වුණේ ඇයගේ සහභාගීත්වයෙන් තොරව වන අතර ඇය දැනට බංග්ලාදේශයෙන් පිටුවහල්වී ඉන්දියාවේ රැකවරණය ලබමින් පසුවෙයි.
ඇයට චෝදනා පහක් එල්ල වී තිබෙන අතර ඉන් දෙකකට මරණ දඬුවම නියම වී තිබෙන අතර තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇති බවයි එරට වාර්තා තවදුරටත් පවසන්නේ.
මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම, වධහිංසා පැමිණවීම සහ විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික අවි භාවිතා කිරීමට නියෝග කිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතරට අයත්ය.
හිටපු අගමැතිනියට එරෙහි එම නඩු තීන්දුව පිටු 453 කින් යුක්ත වන අතර එය කොටස් 6 කින් සමන්විත බව දැක්වෙයි.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ අද (17) දිනයේ අධිකරණ පරිශ්‍රයේ විශාල පිරිසක් රැස්ව සිටි අතර ආරක්ෂාවද තර කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.
1971 දී බංග්ලාදේශය පකිස්ථානයෙන් ස්වාධීන වූ දා සිට රජයේ රැකියා වලින් 30% ක් සැමවිටම හිටපු හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ දරුවන් සඳහා වෙන් කර තිබුණු අතර එය 2024 වන විට කුසලත, සුදුසුකම් අභිබවා පරපරා ගත විමත සමඟ සමාජය මුහුණ දුන් විරැකියාව බංග්ලාදේශයේ විරෝධතාවලට හේතු පාදක විය.
බොහෝ විට රැකියා හිමි වූයේද ෂෙයික් හසීනාගේ පක්ෂය වූ අවාමි ලීගයේ ආධාරකරුවන්ට වන අතර එයද පැවති දේශපාලන බලාධිකාරයට එරෙහි විරෝධතා උත්සන්න වීමට හේතුවක් ලෙස දැක්විය හැකිය.





