ආපදාවට පත් ජනතාවට සහන දෙන බවට ප්‍රචාරය කරන ආකාරයෙන්ම ඒවා ජනතාවට ලැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ජනතාවට ලබා දිය යුතු සහන සහ ආධාර මේ අවස්ථාවේ උපරිම දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
නිවස සාදා ගැනීමට, දූදරුවන් රැක බලා ගැනීමට, ආදායම් උත්පාදනය සහ ජීවනෝපාය සදහා සෘජුවම ආධාර දිය යුතු බවත් ගෙවල් පිරිසුදු කර ගැනීමට ආධාර දෙන බව පැවසුවද තවමත් ඒවා ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (07) යටියන්තොට කරවනැල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.
රටේ බරපතල කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙන බව පවසා තිබියදී ආපදා කළමනාකරණය ආරම්භ කළ යුතු අතර එසේ සිදුකළේ නම් ජනතාව මත එල්ල වන පීඩනය අවම කර ජීවිත බේරා ගැනීමේ හැකියාවක් පවතින නමුත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොවූ බවයි විපක්ෂ නායකයා පැවසුවේ.
සමගි ජන බලවේගයට වටින්නේ රජය නොව ජනතාව හෙයින් කවුරු බාධා කළත් ජනතාව වෙනුවෙන් සීමා මායිම් නැතිව උදව්ප කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.





