/ Oct 19, 2025

දකුණේ මහ කුඩු තොගයේ රහස් එකිනෙක එළියට!

තංගල්ල ප්‍රදේශයේදී ඊයේ (22) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 650කට ආසන්න බව වාර්තා වේ. එම මත්ද්‍රව්‍ය ප්‍රබල මත් ජවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බව හෙළිවී තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය ඇෆ්ගනිස්තානයේ සිට ට්‍රෝලර් යාත්‍රාවක් මගින් මෙරටට ගෙන්වා ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙම මත් තොගය ගෙන යෑම පිණිස කණ්ඩායම් තුනක් පැමිණ ඇති බවත්, සීනිමෝදර නිවසක මියගොස් සිටි දෙදෙනා සහ රෝහලට ඇතුළත් කළ පසු මියගොස් සිටි පුද්ගලයා මෙම මත් කොටසක් ගෙන යෑමට පැමිණි එක් කණ්ඩායමක් බව අනුමාන කෙරේ. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය කොටසක් සොරා ගැනීම හේතුවෙන් මෙම තිදෙනාට උපක්‍රමශීලීව වස පානය කිරීමට සලස්වා ඇතැයි ද විමර්ශන අංශ සැක පහළ කරයි.

පැණි කොමඩු පැටවූ ලොරියක සහ තවත් නවතා තිබූ ලොරියක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගනු ලැබිණ. ලොරියක තිබී සොයාගත් නවීන ආයුද ඇෆ්ගන් මත්ජාවාරම්කරුවන් විසින් ත්‍යාග ලෙස ලබා දුන් ඒවා බව පැවසේ. විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සාමාන්‍යයෙන් මෙලෙස නවීන ගිනි අවි නොමිලේ ලබා දීම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිරිතකි.

උනාකූරුවේ සාන්ත නමැත්තා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින්නෙකි. ඔහු මෙරට අපරාධ කිහිපයකට අවශ්‍යව සිටින බවද කියැවේ. කෙසේ වෙතත්, මොහු මෙරට තවත් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් සමඟ එක්ව කටයුතු කරන බව පැවසේ.

ඒ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබුණේ, මෙම කුඩු ජාවාරමට දකුණේ දේශපාලකයන්ගේ ඇති සම්බන්ධයද හෙළිදරව් වෙමින් පවතින බවයි.

විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මක අතර තවත් තොරතුරු හෙළිවෙමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top