ලොවම කම්පා කරමින් ඊයේ (12) දිනයේ දී ඉන්දියාවේ, අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුරින් මිය ගිය රතික් ජෝෂිගේ පවුල සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා අතර කතා බහක් ඇතිව තිබේ.
මෘදුකාංග ක්ෂේත්රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ජෝෂි, වසර 6ක් තිස්සේ ලන්ඩනයේ ජීවත් වූ අතර බිරිය සහ දරුවන් තිදෙනා ඉන්දියාවේ වාසය කර තිබුණි.
ජෝෂි කැදැල්ල දරු තිදෙනෙකුගෙන් සමන්විත විය. පිරිමි දරුවන් වයස අවුරුදු පහක නිවුන් දරුවන් ය. දියණිය 8 හැවිරිදි වියේ පසු වූවාය.
එම සෙනෙහෙබර පවුල ලන්ඩනයට රැගෙන ඒමට ජෝෂිට කලක් තිස්සේ වෙහෙස මහන්සි වී සැලසුම් සකස් කර තිබුණි.
ඒ අනුව, ඉන්දියාවේ ගෞරවාන්විත වෛද්‍යවරියක වූ ඔහුගේ බිරිඳ මෙම ගමන වෙනුවෙන් ඇගේ රැකියාවට ද සමු දී තිබුණි.
ඇය උදයිපූර් හි පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබූ අතර, දින දෙකකට පෙර සිය රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ.
ජෝෂි සිය පවුල සමග ඊයේ ගුවන් යානයට ගොඩ වූයේ වසර ගණනක් තිස්සේ දුටු සිහින සැබෑ කරමිනි. සිය පවුල සමඟ ලන්ඩන් වෙත යෑමට දුටු සිහින සැබෑවක් වූ නිසා ඔවුන් සියල්ලගේ මුව අග රැඳී තිබුණේ සතුටු සිනහවකි. ඔවුන් ගුවන්යානයට නැග සිය පවුල සමග ගත් සෙල්ෆි ඡායාරූපයෙන් ඒ බව හොඳින්ම පෙනෙන්නට තිබේ.
කෙසේ නමුත් එය ඔවුන් ගන්නා අවසන් සෙල්ෆිය වනු ඇතැයි සිහිනෙකින් හෝ හිතන්න නැතුව ඇත.
නව ජීවිතය වෙනුවෙන් සියලු බලාපොරොත්තු පොදිබැඳන් ගුවන් යානයට ගොඩ වූ ජෝෂි පවුලට ඉන් මිනිත්තු කිහිපයකට පසු අත්විඳින්නට සිදු වූයේ ඛේදනීය ඉරණමකටය.
ජීවිතයේ නව පරිච්ඡේදයක් වෙනුවෙන් සිහින දුටු ඔවුන් සියල්ල එක් නිමේෂයක දී සදහටම දෑස් පියා ගත්තේ ලොවක් සංවේදී කරමින් ය.
එක් පුද්ගලයෙකු හැරෙන්න යානයේ සිටි මගීන් 241කට මෙම ගුවන් අනතුරෙන් මරු කැඳවූ අතර, එහි ජෝෂි පවුලේ සාමාජිකයන් පස් දෙනාද වෙයි.
අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවට ද වරක් පැමිණ තිබීම සුවිශේෂීය.