අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරුවන් ඝාතනයෙන් පසුව සිය ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය පවසන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස්මත විමර්ශනයට පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව ඔවුන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබුණි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී පොල්ගස්ඕවිට ‘ඩිලා’ නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා ‘ඩිලා’ නැමැත්තාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
ඝාතනයට පැමිණි මෝටර් රථයද ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව විය.
මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැති අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරන අතර අදාළ නීතීඥවරයා මීට පෙර කරන්දෙණිය සුද්දාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට අනතුරුව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන “ලොකු පැටී” නැමැති අපරාධකරුගේ නඩු කටයුතු සඳහා පෙනී සිට ඇති බවත් ඒ අනුව, කරන්දෙණිය සුද්දාගේ තොරතුරු ලොකු පැටී නැමැත්තාට ලබාදී ඇති බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය මින් පෙර සඳහන් කළේය.





