පාප් ධුරය දරමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු මීළඟ පාප් ධුරය සඳහා කාදිනල්වරයෙකු පත් කර ගන්නා ආකාරය ගැන ලොව පුරා කතාබහක් ඇති වී තිබේ.
පාප්වහන්සේ කතෝලික සභාවේ නායකා වන අතර පාප්වහන්සේ ස්වර්ගස්ථ වූ පසු ශුද්ධාසනය හිස් වූ කාලයක් ලෙස සැලකේ. සෙදේ වකන්තේ ((Sede Vacante) ලෙස ලතින් බසින් හැඳින්වෙන එම කාලය තුළ වතිකානුව විශේෂ ක්‍රිය පටිපාටියක් අනුගමනය කරයි.
පළමුව පාප් වහන්සේගේ මරණය තහවුරු කරනු ලබයි. ඒ කැමලෙර්න්ගෝ නම් කාදිනල්වරයා විසිනි. මිය ගිය පාප්වහන්සේගේ නළලට තෙවරක් රිදී මිටියකින් තට්ටු කර බෞතීස්ම නාමයෙන් අමතා ප්‍රතිචාරයක් ඇත්දැයි ප්‍රශ්න කරයි. වර්තාමනයේ මෙය චාරිත්‍රයක් පමණකි.
පසුව මරණය ලොවට දැනුම් දෙයි.
අනතුරුව පාප් වහන්සේ පැළැඳ සිටින ධීවර මුදුව ලෙස හැඳින්වෙන මුදුව විනාශ කෙරේ. ඒ එතුමන්ගේ නිල කාලය අවසන්බව දැනුම් දීමටයි. පසුව පාප්වහන්සේගේ කුටි මුද්‍රා තබනු ලැබේ.
සෙදේ වකන්තේ කාලය තුල වතිකානයේ පාලනය සිදුකරන්නේ කාදිනල් මණ්ඩලය මගිනි. මෙම කාලය තුල බොහෝ වතිකානු දෙපාර්තමේන්තු ප්‍රධානයන්ගේ තනතුරු අහෝසි වේ. එපමණක් නොවේ, වතිකාන රාජ්‍යයේ ලාංඡනයද තාවකාලිකව මාරු වේ.
පාප් වහන්සේගේ මරණය ප්‍රකාශය පත් කළ පසු දින නවයක ශෝක කාලයකි. ස්වර්ගස්ථ පාප්තුමන්ගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ මහජන ගෞරවයට තැන්පත් කෙරේ.
සාම්ප්‍රදායිකව පාප්වහන්සේලාගේ දේහයන් බැසිලිකාව යට පිහිටි වතිකානු ගුහාවල තැන්පත් කෙරෙතත් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තමන් රෝමයේ සැන්ටා මරියා මැජියෝරේ බැසිලිකාවේ භූමදානය කිරීමට කැමති බවයි. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් සංශෝධිත චාරිත්‍රවලට අනුව, අතීතයේ භාවිතා කළ මිනී පෙට්ටි තුන (සයිප්‍රස්, ලෙඩ්, ඕක්) වෙනුවට සරල ලී මිනී පෙට්ටියක් පමණක් භාවිතා කෙරේ.
නව පාප්වරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ලොව පුරා සිටින කාදිනල්වරු රෝමයේදී රැස්වේ. කොන්ක්ලේව් සමුළුව නම් සමුළුවකදී නව පාප්වරයෙකු අතිශය රහසිගත ලෙස තෝරාගනිති. ඒ පාප්තුමන්ගේ භූමදානයෙන් සති තුනකට පසුව ය. වතිකානුවේ සිස්ටයින් දෙව් මැඳුරේ ය.
අවුරුදු 80ට අඩු සියලු කාදිනල්වරු ඡන්ද හිමියෝ වෙති. නව පාප්වරයෙකු වීමට තුනෙන් දෙකක බහුතර ඡන්දය අවශ්‍ය වේ. නව පාප්වරයෙකු තෝරාපත් කරගත් විට සුදු දුමක් නිකුත් කෙරේ.
මීළඟට වතිකානයේ නායකත්වය වන පාප් ධුරය සඳහා මෙරට කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ද තරඟ වදින බවට සමහර වාර්තා පළ වෙතත්, කොළඹ අගරදගුරු කාර්යාලය ඒ ගැන නිල නිවේදනයක් මේ දක්වා නිකුත් කර නැත.
කෙසේ වෙතත්, මෙයට පෙර පත් වූ පාප්වහන්සේලා 266න් 217ක්ම ඉතාලි ජාතිකයන් වන අතර මෙවරද ඉතාලි ජාතික කාදිනල්වරයෙක් ඊට පත් වනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරති.
කෙසේ වෙතත් පාප්වහන්සේ තෝරාගැනීමේ අවස්ථාව වෙනුවෙන් නිසැකවම මෙරට කාදිනල් හිමියන් සහභාගි වන බව වාර්තා වේ. බිලියන එකහමාරක කතෝලික ජනතාවගේ නායකත්වය ඒ අනුව නුදුරේ දී පත් කෙරෙනු ඇති.