/ Apr 09, 2026

මව්බිම පත්තරේ සේවකයන්ගේ අවුරුදු සිහින බිඳේ : ටිරාන් අලස් ගාව ආණ්ඩුව බුදිද?

මව්බිම පුවත්පතේ සේවකයන්ගේ වැටුප් නොගෙවීමේ ප්‍රශ්නය මේ වන තීරණාත්මක තැනකට පැමිණ තිබෙන බවත්, කම්කරු දෙපාර්තමේන්තුවේදී සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනය අද (09) දින සේවක වැටුප් ගෙවන බවට ලබා දුන් පොරොන්දුව අමු අමුවේ කඩ කර ඇති බවත් වාර්තා වේ.

කාලයක් තිස්සේ සිය සේවකයන්ට අර්ථසාධක අරමුදල් නොගෙවූ ‘සිලෝන් නිව්ස්පේපර්ස්’ ආයතනය, සිය ආයතනයට අයත් මව්බිම පුවත්පතේ මාධ්‍යවේදීන් තාක්ෂණ ශිල්පීන් ඇතුළු පිරිසකට මාස තුනකින් වැටුප් ගෙවා නැති අතර සේවකයන් බලාපොරොත්තු වූයේ එළැඹෙන සිංහල අවුරුද්දට පෙර තමන්ට වැටුප් ලබා දෙනු ඇති බවටයි.

කෙසේ වෙතත්, අවුරුදු ආසන්නයටම පැමිණියත් වැටුප් නොගෙවන බැවින් පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ පිරිසක් ලිපියකින් කර්තෘවරයා වෙත දන්වා ඇත්තේ තමන්ට මෙලෙස සේවය කිරීමට අපහසු බැවින් වැටුප් ලබා දෙන ලෙසයි. මෙම ලිපියෙන් පසු කුපිත වූ ටිරාන් අලස් ඇතුළු හිමිකාරිත්වය මෙම ලිපියට අත්සන් තැබූ පිරිස වෙත වෛර බැඳගෙන පලිගැනීම පිණිස කටයුතු කරන බවට දැනගන්නට ඇත.

උක්ත ලිපියට තමන් අත්සන් තැබුවේ නොදැනුවත්කමින් බවට පිරිසකගෙන් තවත් ලිපියක් ලබා ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ. මාස තුනක් තිස්සේ වැටුප් රහිතව තමාගෙ වියදමින් ප්‍රවාහන ගාස්තු ගෙවමින් සේවයට පැමිණි පිරිසට හිටපු අමාත්‍යවරයෙකු – ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රබලයෙකු වන ටිරාන් අලස් සලකන්නේ එලෙස ය. සේවකයන් ඉල්ලා සිටින්නේ තමන් සේවය කළ කාලයට ගෙවිය යුතු වැටුප මිස ටිරාන් අලස්ගෙන් පිනට යමක් නොවේ.

මේ තත්වය ඉවසාගත නුහුණු සේවකයන් අතරින් කිහිපදෙනෙකු අද (09) දින කම්කරු දෙපාර්තමේන්තුව වෙත සේවකයන් කිහිප දෙනෙකු ගොස් ඇති අතර සිලෝන් නිව්ස්පේපර්ස් ආයතනයේ මානව සම්පත් අංශයේ දෙදෙනෙකු සහභාගි වී තිබේ. එහිදී ඔවුන් හිඟ වැටුප් ගෙවන බවට පොරොන්දුවක් ලබා දී සමථයකට පැමිණ තිබෙන අතර, වැටුප් මේ දක්වා නිසි පරිදි ලබා දීමට කටයුතු කර නැතැයි දැනගන්නට ඇත.

කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගෙන සිටි සේවකයන් පිරිසකට නැවත සේවයට නොඑන්නැයි දන්වා ඇති අතර කම්කරු දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට ගිය රවිෂාන් නම් මාධ්‍යවේදියාට නැවත සේවයට නොපැමිණෙන ලෙස වාචිකව දන්වා ඇත.

මේ දක්වා විධිමත් ලෙස වැටුප් ලබා දීමට සිලෝන් නිව්ස්පේපර්ස් ආයතනය කටයුතු කර නැත.

ටිරාන් අලස් ඇතුළු පාලනාධිකාරිය මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් වෙත කටයුතු කරන්නේ වහල් හිමියන් සිය වහලුන්ට සලකන ආකාරයට බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර, මේ සම්බන්ධයෙන් දේශපාලන පිටියේ කිසිවෙක් හඬක් නගන බවක්ද නොපෙනේ.

වත්මන් ආණ්ඩුවද මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නා බවක් දක්නට නැති අතර ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ සහ ටිරාන් අලස් අතර සබඳතා පවතින බවට පෙරදී චෝදනා එල්ල විය.

මාස කිහිපයක් තිස්සේ, වැටුප් නොමැතිව – සිංහල හින්දු අලුත් අවුරුද්ද කටේ හිස් අතින් ගෙවල් බලා යෑමට සිදුවන මාධ්‍යවේදීන් – සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් කිසිවෙකු හඬ නොනගන්නේ ටිරාන් අලස්ලාගේ පාර රාජ්‍යය තවමත් සක්‍රීය නිසාදැයි සාධාරණ පැනයක් පැන නගී!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top