සෑම වසරකම ඔක්තෝබර් 10 වනදා මරණ දඬුවමට එරෙහි ලෝක දිනය (World Day Against the Death Penalty) ලෙස සමරනු ලබන්නේ, මනුෂ්‍ය ජීවිතයේ අතිශය වැදගත්කම සහ එකී දඬුවමේ ඇති ආපසු හැරවිය නොහැකි දෝෂයන් පිළිබඳව ගෝලීය අවධානය යොමු කිරීම සඳහාය.
මෙම දිනය, ලොව පුරා මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක වන රටවල් වෙත දැඩි පණිවිඩයක් ලබා දෙයි. මරණ දඬුවම යනු කෲර, අමානුෂික සහ අවමන්සහගත දඬුවමක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන අතර, එය මානව හිමිකම්වල මූලිකම අයිතිය වන ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කිරීමකි.
මරණ දඬුවම අහෝසි කළ යුතු වීමට ප්‍රධාන හේතු කිහිපයක් ලෙස සෑහෙන කාලයක් පුරා සාකච්ඡාවට ලක් වෙන හේතු කිහිපයකි.
ආපසු හැරවිය නොහැකිවීමේ දෝෂය: කිසිදු අධිකරණ පද්ධතියක් දෝෂ රහිත නොවන බව කවුරුත් පිළිගත යුත්තකි. එලෙසින් වැරදීමකින් වැරදිකරුවෙකු නොවූ අයෙකුට මරණ දඬුවම ලබා දුනහොත්, එම දෝෂය ආපසු හැරවීමට කිසිදු හැකියාවක් නොමැත. නිරපරාධ පුද්ගලයෙකුට ජීවිතය අහිමි කිරීමේ අවදානම කිසිවෙකුට දැරිය නොහැක.
ඵලදායී නොවීම: බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඬුවමට වඩා අපරාධ වැළැක්වීමේ ඵලදායී මාධ්‍යයක් නොවන බවයි. අපරාධ අනුපාතය අඩු කිරීම සඳහා සාර්ථක වන්නේ සාධාරණ හා නිශ්චිත දඬුවම් ක්‍රමයක් මිස කෲරත්වය නොවේ.
විචාරශීලී නොවන භාවිතය: බොහෝ රටවල මරණ දඬුවම බොහෝ විට දුප්පතුන්, වාර්ගික සුළුතරයන් හෝ දුර්වල නීතිමය නියෝජනයක් ඇති පුද්ගලයින් සඳහා අසාධාරණ ලෙස යොදවන බවට චෝදනා එල්ල වේ.
මේ වන විට ලොව පුරා රටවල් 140ක පමණ ප්‍රමාණයක් මේ වන විට මරණ දඬුවම අහෝසි කර තිබේ. මෙරටද දසක ගණනාවක් පුරා මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් මරණ දඬුවම අහෝසි කිරීමටද ක්‍රියාකර නැත. එහෙත් විවිධ අපරාධ මතුව එද්දී සමාජයේ පිරිසක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටිති. මෙරට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ විවිධ දෝෂ ඇති බව ඇති තරම් ඔප්පු වී ඇති පසුබිමක මරණ දඬුවම ඉල්ලා සිටීම අමනෝඥ ක්‍රියාවකි. එසේ ම ශිෂ්ට ලෝකය දැන් ගමන් කරමින් සිටින්නේ මරණ දඬුවමින් ඉවත්වය.
මරණ දඬුවම ඉවත් කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට නව රජයට බල කළ යුතු ය.