දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ආපදාවට ලක්වූ වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් එළැඹෙන 20වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කිලෝමීටර 70ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් අවහිර වූ අතර එම ප්‍රමාණය මේ වනවිට පිළිසකරකර අවසන් බව ඔහු සඳහන් කරයි.
”මේ සංචාරකයෝ එන මාසය. නුවරඑළියට එන සංචාරකයා, ඇල්ලට එන සංචාරකයා මේ දුම්රිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කඩිනමින් මේ මාර්ගය හැදුවා” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අද උදෑසන පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මහාමාර්ග පද්ධතියට මෙන්ම දුම්රිය මාර්ග පද්ධතියටද දැඩි බලපෑම් එල්ල වූ බවය.
ඒ අනුව අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ග නායයෑම් හා ගල් පෙරළීම් 91ක්, බෝක්කුවලට හානි සිදුවීම 38ක්, දුම්රිය මාර්ගවලට ගස් පෙරළීම් 149ක් සහ දුම්රිය පාදම කැඩී යෑම් 177ක් වාර්තා වූ බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
මීට අමතරව ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය ස්ථාන 27කටද හානි සිදුව තිබේ.
කෙසේ වෙතත් දුම්රිය කාර්ය මණ්ඩල සහ සේවකයින්ගේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මාර්ගය මේ වනවිට විවෘත කර ඇති අතර දැනට මහව දක්වා පමණක් සිදුවන දුම්රිය ධාවනය කන්කසන්තුරය දක්වාත්, පුත්තලම මාර්ගයේ නාත්තන්ඩිය දක්වා පමණක් ධාවනය වන දුම්රිය හලාවත දක්වාත් හා මඩකඩලපුව දුම්රිය මාර්ගයන්හි ධාවන කටයුතු ජනවාරි 1 සිට ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර මාතලේ හා වත්තේගම අතර කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දැනට වත්තේගම දුම්රිය ස්ථානයේ නවත්වා ඇති දුම්රිය ධාවන කටයුතු සඳහා එක්කිරීමට ද අපේක්ෂා කරයි.





